• Ada Derana BIZ Sinhala
  • ISO 50001:2018
  • sri lanka
  • Swisstek Aluminium

ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම ජාත්‍යන්තර ISO 50001:2018 ප්‍රමිති සහතික ලත් පළමු දේශීය ඇලුමිනියම් නිෂ්පාදන සමාගම ලෙස පිදුම් ලබයි

January, 23, 2023

පරිසර හිතකාමී බව සහ තිරසාරත්වය සම්බන්ධයෙන් ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම දක්වන සුවිශේෂී කැපවීම තව දුරටත් තහවුරු කරමින් එම සමාගම පසුගියදා ජාත්‍යන්තර ISO 50001:2018 ප්‍රමිතිකරණ සහතිකය ලබා ගැනීමට සමත් විය. මෙම සහතිකකරණය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගමේ බලශක්ති කළමනාකරණ පද්ධතිය (Energy Management System  - EnMS) සහතික කරමින් ප්‍රදානය කරන ලද අතර ඇලුමිනියම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ සමාගම් අතරින් මෙම සහතිකකරණය ලබා ගත් පළමු සමාගම බවට ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම පත් වීම කැපී පෙනුණි.  ISO 50001:2018 යනු ප්‍රමිතිකරණය සඳහා වන ජාත්‍යන්තර ආයතනය (ISO) විසින් බලශක්ති කළමනාකරණ පද්ධති ස්ථාපනය කිරීම, නඩත්තුව හා කළමනාකරණය ප්‍රමිතිකරණය කිරීම සඳහා 2011 වසරේදී හඳුන්වාදෙන ලද සහතිකකරණයයි.  ISO 50001 ප්‍රමිතීන්ට අනුගත වීම හරහා සමාගම්වලට ඔවුන්ගේ බලශක්ති ප්‍රභවයන් හා භාවිතය වඩාත් සාර්ථකව කළමනාකරණය කරගනිමින් බලශක්තිය පරිභෝජනය හා පිරිවැය ප්‍රශස්තව පවත්වාගෙන යාමට හැකියාව ලැබේ. 

ලෝකය පුරා විශේෂඥයින් විසින්  ISO 50001 ප්‍රමිතිකරණය ගෝලීය බලශක්ති පරිභෝජනය අවම කිරීම සඳහා සාර්ථකම විසඳුමක් ලෙස පෙන්වා දෙන අතර ඔවුන් ඇස්තමේන්තුගත කරන ආකාරයට ඊට ගෝලීය බලශක්ති පරිභෝජනය 60% කින් පමණ පහත හෙලීමට හැකියාවක් ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වර්තමානයේදී මුහුණ දී සිටින තත්ත්වය සැළකිල්ලට ගැනීමේදී වගකීම් සහගත ව්‍යාපාරයක් වශයෙන් සිය බලශක්ති පරිභෝජනය අවම කිරීම සඳහා කැපවීමෙන් ක්‍රියා කිරීම ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම ගත් ප්‍රශංසනීය පියවරක් ලෙස සඳහන් කළ හැකිය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තරිඳු අතපත්තු මහතා මෙසේ පැවසීය “සමාගමක් වශයෙන් අප ලබා ඇති සාර්ථකත්වයේ ප්‍රධානතම හේතුවක් වන්නේ අපේ ව්‍යාපාර මෙහෙයුම් තුළ පරිසරය සහ තිරසාරත්වය කෙරෙහි අපි දක්වන සැළකිල්ලයි. ඒ නිසා  ISO 50001:2018 සහතිකකරණය දිනා ගැනීම අප ලැබූ දැවැන්ත ජයග්‍රහණයක්. ඊට අදාළ සියලුම ගෞරවය ඒ වෙනුවෙන් කැපවීමෙන් වැඩ කළ ස්විස්ටෙක් ඇලුමිනියම් කණ්ඩායමට හිමි විය යුතුයි. ඒ වගේම මේ සහතිකකරණය දිනාගත් ඇලුමිනියම් ක්ෂේත්‍රයේ පළමු සමාගම බවට පත් වීම අපට විශාල ආඩම්බරයක්.”

ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම දීර්ඝ කාලයක් පුරා සිය බලශක්ති කළමනාකරණ පද්ධතිය තිරසාර මට්ටමක පවත්වා ගෙන යාම සඳහා දැවැන්ත ආයෝජනයන් සිදු කරමින් සිටින අතර ඊට හොඳම උදාහරණයක් වන්නේ මෑතකදී සමාගම විසින් රුපියල් මිලියන 156.5 ක වියදමක් දරා ස්ථාපනය කරන ලද ෆොටෝවෝල්ටික් පැනල 3340 කින් සමන්විත සූර්ය පැනල පද්ධතියයි. ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම අඛණ්ඩවම තිරසාරත්වය වෙනුවෙන් කටයුතු කිරීමට හැකිවන පරිදි ක්‍රමෝපායික වශයෙන් ඉලක්කගත වී සිටින අතර ඒ අනුව ඉදිරියේදී තව දුරටත් ඒ සම්බන්ධයෙන් විශිෂ්ට ප්‍රතිඵල අත්පත් කරගැනීමට සමාගම අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් හා ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන ස්විස්ටෙක් ඇලුමිනියම් (Swisstek Aluminium) සමාගම ලංකා වෝල්ටයිල් සමාගමට අනුබද්ධිත ආයතනයකි. මෙරට ඇලුමිනියම් වෙළෙඳපොලේ ප්‍රමුඛයෙකු වන ස්විස්ටෙක් ඇලුමිනියම් උසස් තත්ත්වයේ නිෂ්පාදන, නව්‍යකරණය හා විශිෂ්ටත්වය කෙරෙහි මෙන්ම පරිසර හිතකාමීව සිය මෙහෙයුම් සිදු කිරීම සම්බන්ධයෙන් ද කීර්තියක් උසුලන සමාගමක් වීම විශේෂත්වයකි.