• Ada Derana BIZ Sinhala
  • November
  • sri lanka
  • SriLankan Airlines

ජාත්‍යන්තර සංචාරක වෙළඳ හවුල්කරුවන් 150 කට අධික සංඛ්‍යාවකට ශ්‍රීලංකන් ගුවන් සේවය සත්කාරකත්වය සපයයි

October, 17, 2022

ශ්‍රීලංකන් ගුවන් සේවය , ශ්‍රී ලංකාවේ සංචාරක  ව්‍යාපාරයට සහය දැක්වීමේ අරමුණින්, නොවැම්බර් මාසයේ දී වාණිජ සමුළුවක් සහ සංචාරක වෙළඳපොළක් සඳහා ජාත්‍යන්තර සංචාරක නියෝජිතයින් 150 කට අධික සංඛ්‍යාවක් සඳහා ගුවන් සේවා සත්කාරකත්වය ලබාදීමට කටයුතු යොදා තිබේ. මෑත ඉතිහාසයේ ජාත්‍යන්තර සංචාරක වෙළඳ කර්මාන්තයේ නිරතව සිටින නියෝජිතයන් මෙතරම් විශාල  ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාව මෙය වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නට්ල් මහතා මෙසේ පැවසීය, “දැන් දිනෙන් දින රට ඉදිරියට යනවා.  සංචාරක මාර්ගෝපදේශ ඉවත් කර තිබෙනවා වගේම  රටේ ඉන්ධනත් තිබෙනවා.  ශ්‍රී ලංකාවේ ආශ්චර්යයන් අත්විඳීමට නැවත සංචාරක ව්‍යාපාරය පුනර්ජීවනය කිරීමට අපට කාලය උදාවෙලා තියෙනවා.  ජාතික ගුවන් සේවය ලෙස අපගේ ජාලය පුරා  විසිරී සිටින අපගේ වටිනා හවුල්කරුවන්ට සංචාරය කිරීමට සහ කර්මාන්තය පුරා දැනුවත් කිරීමට කාලය පැමිණ තියෙනවා. ” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව, මෙම සමුළුව ශ්‍රීලංකන් ජාලය පුරා සිටින සංචාරක වෙළඳ නියෝජිතයන් ඔවුන්ගේ නිෂ්පාදන මෙන්ම ශ්‍රී ලංකාවට සැලකිය යුතු ලෙස පිරිනමන  සේවාව කෙරෙහි අවධානය යොමු කිරීමක් මෙන්ම ඔවුනොවුන් අතර ඇති සහෝදරත්වය වර්ධනය කිරීමක් වනු ඇත. මේ සඳහා  පැමිණෙන නියෝජිතයන් ශ්‍රී ලංකාවේ සංචාරක අභිලාෂයන්, ගුවන් සමාගමේ වාණිජ දැක්ම පිළිබඳව දැනුවත් කෙරෙන අතර, ඕනෑම වර්ගයක සංචාරකයකුට සත්කාරකත්වය සැපයීමට දිවයිනේ සූදානම සහතික කිරීම සඳහා අත්දැකීම් ලබා දෙනු ඇත.

මෙම සම්මන්ත්‍රණයෙන් අනතුරුව සුහද හමුවක් පවත්වනු ලබන අතර, එහිදී ශ්‍රී ලංකා සංචාරක ක්‍රියාකරුවන්ට සහ ගමනාන්ත කළමනාකරණ සමාගම්වලට ව්‍යාපාරික අවස්ථා ගවේෂණය කිරීම සඳහා පැමිණෙන නියෝජිතයන් සමඟ අන්තර් ක්‍රියා කිරීමට අවස්ථාව ලබා දෙනු ඇත.

ගුවන් සේවය දැනට එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව වැනි ප්‍රමුඛ සංචාරක වෙළඳපොලවල් ඇතුළත් ගමනාන්ත ගණනාවක් ශ්‍රී ලංකාවට සම්බන්ධ කරයි. ජාතික ගුවන් සේවය මෑත කාලීන සියලු අභියෝග හමුවේ රට යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රයත්නයන් සඳහා අඛණ්ඩව සහාය ලබා දී ඇති අතර ශ්‍රී ලංකාව කෙරෙහි සංචාරකයින්ගේ විශ්වාසය රඳවා තබා ගැනීම සඳහා ඵලදායි ලෙස සහ ක්‍රියාකාරීව බොහෝ මුල පිරීම් මෙහෙයවා ඇත.

  • Ada Derana BIZ Sinhala
  • FlySmiLes
  • Miles
  • sri lanaka
  • SriLankan Airlines

ශ්‍රීලංකන් කෙයාර්ස් වෙත FlySmiLes හි Miles පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් හඳුන්වාදෙයි

August, 4, 2022

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නිරන්තර පියාසර වැඩසටහන වන FlySmiLes හි සාමාජිකයන්ට දැන් ඔවුන් උපයන  Miles ගුවන් සේවයේ ආයතනික සමාජ වගකීම් අංශය වන SriLankan Cares වෙත පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් හඳුන්වා දී තිබේ. ඒ අනුව ඔබ පරිත්‍යාග කරන ලද  Miles භාවිත කරමින් විශේෂ අවශ්‍යතා ඇති සහ විවිද රෝග වලට ලක්ව ඇති දරුවන්ට වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගත වීමට හැකියාව ලැබෙනු ඇත.

FlySmiLes සාමාජිකයන්ට ඔවුන්‍ට හිමි Miles 1,000ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ශ්‍රීලංකන් කෙයාර්ස් වෛද්‍ය ප්‍රවේශපත්‍ර යෝජනා ක්‍රමයට ඔවුන් කැමති පරිදි පරිත්‍යාග කළ හැකිය. පසුව, FlySmiLes සාමාජිකයින්  විසින් සිදුකරන ලද පරිත්‍යාගය සඳහා  තවත් අමතර 25% ක් FlySmiLes වෙතින් ශ්‍රීලංකන් කෙයාර්ස් වෙත ප්‍රධානය කරනු ඇත. ශ්‍රීලංකන් කෙයාර්ස් විසින් ශ්‍රීලංකාවේ දී සිදු කිරීමට අපහසු වෛද්‍ය  ප්‍රතිකාර සඳහා විදේශ ගතවීමට අපේක්ෂා කරන අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට සහ ජීවිත අවධානමක් ඇති රෝගීන් වෙත ගුවන් ටිකට්පත් නිකුත් කිරීමට පරිත්‍යාග කරන ලද සැතපුම් භාවිතා කරනු ඇත.

ශ්‍රීලංකන් කෙයාර්ස් වෛද්‍ය ප්‍රවේශපත්‍ර යෝජනා ක්‍රමය හරහා තෝරාගත් සෑම රෝගියකුගේ පවුලේ සාමාජිකයකු හෝ වෛද්‍ය වෘත්තිකයකු වැනි එක් සහකාරියක් සමඟින් සෞඛ්‍ය සේවා සඳහා තෝරාගත් ගමනාන්තයකට නොමිලේ ගුවන් ටිකට්පත් දෙකක් ලබාදෙනු ඇත. ශ්‍රීලංකන් කෙයාර්ස් සෑම වසරකම රෝගීන් විස්සක් දක්වා ප්‍රවේශපත්‍ර යුගල ලබාදීමට අපේක්ෂා කරයි.

FlySmiLes සාමාජිකයන් විසින් පරිත්‍යාග කරන ලද miles වලින් ප්‍රතිලාභ ලැබූ පළමු සාමාජිකයා වූයේ චෙසඳු අයෝද් ජයනන්ද පුතු වන අතර ඔහුට වයස අවුරුදු තුනේදී අක්මාව සම්බන්ධයෙන් රෝගයක් ඇති බව හඳුනා ගන්නා ලදී. චෙසඳුට ප්‍රතිකාර කරන වෛද්‍යවරු ඔහුට හැකි ඉක්මනින් ඉන්දියාවේ චෙන්නායි හි පිහිටි Dr. Rela Institute & Medical Center හි අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මයකට භාජනය කරන ලෙස නිර්දේශ කර තිබුණි. ශ්‍රීලංකන් කෙයාර්ස් සහාය ලබා ගැනීම‍ට පෙර ගමන් වියදම් සහ ශල්‍යකර්ම සඳහා ප්‍රමාණවත් අරමුදල් රැස් කිරීමේ උභතෝකෝටික ගැටලුවට චෙසඳුගේ දෙමාපියන් මුහුණ දුන්හ.

චෙසඳුගේ මව, මොනිකා තඹුගල මහත්මිය සිය කෘතඥතාව මෙසේ පළ කළේය, “මුදල් සොයා ගන්නේ කෙසේද යන්න ගැන සිතමින් සිටියදී, මම ශ්‍රීලංකන් කෙයාර්ස් ගැන සහ ඔවුන් අප වැනි අයට මෙවැනි අවස්ථාවන්හිදී උපකාර කරන ආකාරය දැනගත්තා. ශ්‍රීලංකන් කෙයාර්ස් විසින් ඉන්දියාවට ගුවන් ටිකට්පත් ලබා දුන්නා.  මගේ දරුවාට 2022 ජූනි 6 වැනි දින සාර්ථකව සැත්කමක් සිදු කළා. මගේ ආදරණීය පුතුට අද නව ජීවයක් ලැබිලා  තියෙනවා. ඒ සඳහා උපකාර කළ ශ්‍රී ලංකන් කෙයාර්ස් වෙත සහ FlySmiLes හි miles ලබාදුන් කාරුණික පරිත්‍යාගශීලීන්ට මම ස්තූතිවන්ත වෙනවා. ”

  • Ada Derana BIZ Sinhala
  • sri lanaka
  • SriLankan Airlines

බැඳුම්කර පොලී ගෙවීම් පිළිබඳ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රකාශය 

July, 26, 2022

2024 වර්ෂයේ දී ගෙවිය යුතු ඇ.ඩොලර් 175,000,000 / සියයට 7.00 ක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ඇපවූ (ISIN iXS2010609) බැඳුම්කරයට අඳාල පොලී පියවීමට ගුවන් සමාගම අවශ්‍ය පියවර ගෙන ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවය සතුටින් ප්‍රකාශ කරයි. සමාගමේ අරමුදල් භාවිතා කරමින් අදාළ සහන කාලය තුළ පොළිිය සම්පූර්ණයෙන්ම ගෙවා ඇත.

  • Ada Derana BIZ Sinhala
  • sri lanaka
  • SriLankan Airlines

ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් කෙරෙන නිවේදනයයි

July, 8, 2022

ශ්‍රී ලංකාවේ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් වාර රැසක් අවලංගු විය හැකි බවට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ඇතැම් අසත්‍ය තොරතුරු නිවැරදි කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම අපේක්ෂා කරයි.

මේ වන විට ශ්‍රී ලංකාවේ ඉන්ධන හිඟය උච්චතම අවස්ථාවට පැමිණ ඇති බැවින් සතියකට වැඩි කාලයක් තම ගුවන් ගමන් කාලසටහන සුදුසු ගැලපීම් සහිතව කළමනාකරණය කර ගැනීමට හැකි වී ඇති බව ශ්‍රිලංකන් ගුවන් සේවය තහවුරු කර සිටියි.

පවතින තත්ත්වයන් කළමනාකරණය කිරීම සඳහා ගුවන් ගමන්  කාලසටහන් වල වෙනස්වීම් සිදුකර ඇති අතර ඉන්ධන ලබා ගැනීම සඳහා තෝරාගත් විදේශීය ගුවන් තොටුපළවල තාක්ෂණික නැවතුම් හඳුන්වාදී ඇත. ඒ අනුව  ඇතැම් ගුවන් ගමන්වල වේලාව සහ කාලසීමාවේ යම් වෙනස්කම් සිදුවිය හැක.

කෙසේ වෙතත්, ශ්‍රීලංකන් ගුවන් සමාගම කාලසටහන් සංශෝධන වල බලපෑම නොතකා සිය ගුවන් ගමන් කාලසටහන 100%කට ආසන්න කාර්යක්ෂමතාවයකින් යුතුව ක්‍රියාත්මක කරමින් සිටියි.

මෙම තීරණාත්මක අවස්ථාවේදී නියමිත ගුවන් ගමන් මෙහෙයුම් අවම බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට සෑම උත්සාහයක්ම ගන්නා බව ශ්‍රීලංකන් ගුවන් සමාගම සිය පාරිභෝගිකයින්ට සහතික වී සිටියි.වැඩි විස්තර සඳහා ඔබගේ ළඟම ඇති ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්යාලය අමතන්න. නැතිනම් www.srilankan.com වෙත පිවිසෙන්න.

  • Codeshare
  • Kuwait Airways
  • SriLankan Airlines

ශ්‍රීලංකන් ගුවන් සේවය සහ කුවේට් එයාර්වේස් හවුල්කාරිත්ව ගිවිසුමකට එළඹෙයි

July, 5, 2022

ශ්‍රීලංකන් ගුවන් සේවය සහ කුවේට් එයාර්වේස් 2022 ජූලි මස 20 වන දින සිට බලපැවැත්වෙන පරිදි නව සංකේත හුවමාරු හවුල්කාරිත්වයක් දියත් කිරීමට කටයුතු යොදා ඇති අතර  එමඟින් ගුවන් සමාගම් දෙකෙහිම පාරිභෝගිකයින්ට වැඩිදියුණු කළ සම්බන්ධතා සහ පහසුකම් ලබා දීමට හැකි වනු ඇත. ඒ අනුව  ගුවන් සමාගම් දෙකම කොළඹ සහ කුවේට් අතර ක්‍රියාත්මක වන ගුවන් ගමන් සඳහා අනෙකුත් ගුවන් සමාගමේ අලෙවිකරණ සංකේතය යටතේ මෙහෙයුම් සිදුකරනු ඇත.

1999 වසරේ සිට ශ්‍රීලංකන් ගුවන් සේවය සහ කුවේට් එයාර්වේස් අතර පවතින වාණිජ සබඳතාව නව සංකේත හුවමාරු හවුල්කාරිත්වය තුළින් තවදුරටත් ශක්තිමත් කර නව තලයකට ගෙන යනු ඇත. ශ්‍රීලංකන් ගුවන් සමාගම දශක හතරකට වැඩි කාලයක් කොළඹ සහ කුවේට් අතර මගීන් රැගෙන ගොස් ඇති අතර දැනට කුවේට් වෙත දෛනික ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.  එසේම, කුවේට් එයාර්වේස් 1978 සිට මෙම මාර්ගයේ මගීන්ට සේවා සපයන අතර 2022 ඔක්තෝබර් මාසයේ සිට සතිපතා කොළඹට ගුවන් ගමන් තුනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

මෙම හවුල්කාරිත්වය දියත් කිරීමත් සමඟම ප්‍රවේශපත්‍ර මිල දී ගැනීමේ සිට අවසන් ගමනාන්තයට පැමිණෙන තෙක් සිය සම්පූර්ණ ගමන එකම ගුවන් සමාගමකින් කළමනාකරණය කර ගැනීමේ පහසුව මගීන්ට හිමිවනු ඇත. එසේම සිය සංචාරය බාධාවකින් තොරව පවත්වාගෙන යාමටත්  ගුවන් ගමන්වල සියලු ප්‍රතිලාභ ලබාගැනීමටත් මගීන්ට අවස්ථාව හිමිවේ.  තවද, ගුවන් සමාගම් දෙකෙහිම මගීන්ට විශේෂයෙන් මැදපෙරදිග සහ යුරෝපයට කුවේට් හරහා සහ ඉන්දියානු උපමහාද්වීපයට මෙන්ම  කොළඹ හරහා ඈත පෙරදිගට ගුවන් ගමන් විකල්පයන් භුක්ති විඳිය හැකිය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නට්ල් මහතා මෙසේ පැවසීය, “ සැමවිටම අපගේ ගනුදෙනුකරුවන්ට විවිධ ආකාරවලින් වටිනාකමක්  ලබාදීමට අපි අපේක්ෂා කරනවා.  කුවේට් එයාර්වේස් සහ ශ්‍රීලංකන් ගුවන් සේවය අතර දිගුකාලීන සබඳතාවයේ නව පරිච්ඡේදයකට අවතීර්ණ වීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. මැදපෙරදිග වෙළෙඳපොළ ශ්‍රීලංකන් ගුවන් සමාගමට සැමවිටම වැදගත් වෙනවා, මෙම අංශයට වඩා හොඳින් සේවය කිරීම සඳහා අපගේ ජාලය සහ නිෂ්පාදන පුළුල් කිරීමට අපි අඛණ්ඩව උත්සාහ කරනවා. අපි කුවේට් එයාර්වේස් සමඟ වැඩ කිරීමටත් අපගේ මගීන්ගේ ප්‍රයෝජනය සඳහා අපගේ ඒකාබද්ධ ජාල අතර විශාල සහයෝගීතාවයක් ඇති කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

කුවේට් එයාර්වේස් හි ප්‍රධාන විධායක නිලධාරී Maen Razouqi මහතා මෙසේ පැවසීය, " ශ්‍රීලංකන් ගුවන් සමාගම අපගේ හවුල්කරුවෙකු ලෙස අපි සාදරයෙන් පිළිගන්නවා.  මෙම හවුල්කාරිත්වයේ නව ආරම්භය කුවේට් එයාර්වේස් සහ ශ්‍රීලංකන් එයාර්ලයින්ස් මෙහෙයුම් සිදුකරන ප්‍රධාන නගර දෙක අතර‍ මෙහෙයුම් සඳහා විශාල සහයක් ලබාදෙනවා. ඒ වගේම ගුවන් සමාගම් දෙක විසින් සපයනු ලබන සේවාවන් හරහා මහජනතාවට වැඩි සංචාරක විකල්ප, පහසුකම් ලබා දෙනු ඇත. මගීන්ට සහ සංචාරක නියෝජිතයින්ට අපගේ කාර්යාල/වෙබ් අඩවිය/APP සහ නියෝජිතයින්ගේ වෙන් කිරීමේ පද්ධතිය හරහා මෙම ගුවන් ගමන් සඳහා සෘජුවම වෙන්කරවා ගැනීමට හැකි වනු ඇත. තවද, මෙම Codeshare හවුල්කාරිත්වය ගුවන් සමාගම් දෙක අතර සබඳතාව වැඩිදියුණු කිරීම පමණක් නොව, මිත්‍ර රාජ්‍යයන් දෙක වන කුවේට් සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් සබඳතාවයක් ද වර්ධනය කරනු ඇත. මෙම අවස්ථාවෙහිදී, මෙම සංඛේත හුවමාරු ගිවිසුම බලාත්මක කිරීමට ගත් උත්සාහය වෙනුවෙන් Richard Nuttall මහතාට මෙන්ම කණ්ඩායම් දෙකටම මම ස්තූතිවන්ත වෙනවා. ” යනුවෙන් ඒ මහත වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රීලංකන් ගුවන් සේවය සහ කුවේට් එයාර්වේස් යන සමාගම් දෙකම සංකේත හුවමාරු කර ගැනීම නිරන්තර පියාසර කරන වැඩසටහන ඇතුළත් කිරීමට කටයුතු කරමින් සිටින අතර, එම වැඩසටහන්වල ප්‍රතිලාභ මගීන්ට ලබා දිය හැකිය. තවද, ගුවන් සමාගම් දෙකම අනාගත අන්‍යෝන්‍ය සහයෝගීතාවය සහ ඔවුන්ගේ හවුල්කාරිත්වය පුළුල් කිරීම සඳහා වෙනත් මාර්ග ගවේෂණය කිරීමට අපේක්ෂා කරයි.

  • Ada Derana BIZ Sinhala
  • Special announcement
  • sri lanaka
  • SriLankan Airlines

ශ්‍රීලංකන් ගුවන් සමාගමෙන් විශේෂ නිවේදනයක්

June, 15, 2022

ශ්‍රීලංකන් ගුවන් සමාගම UL 504 ගුවන් යානය පිළිබඳ නිකුත් කරන විශේෂ මාධ්‍ය නිවේදනය

ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL 504 දරන ගුවන් යානය, තවත් ගුවන් යානයක් හා ගැටීමට තිබූ අවස්ථාවක් මඟහරවාගැනීම පිළිබඳ පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අවධානය යොමු වී ඇත.

ඒ අනුව, 2022 ජුනි 13 වැනිදා, ලන්ඩනයේ සිට කොළඹ බලා පියාසර කළ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL 504 දරන ගුවන් යානයේ නියමුවන් කිසිදු උපද්‍රවයකින් තොරව එම ගුවන් යානය හැසිරවීමට සමත් වූ බව අපි තහවුරු කරන්නෙමු.

කෙසේ නමුත්, ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වෙන ආකාරයට ගුවනේදී UL 504 ගුවන් යානය තවත් ගුවන් යානයක ගැටීමේ අවදානමක් කිසි ලෙසකින්වත් මතු නොවූ බව ද අවධාරණය කරනු කැමැත්තෙමු. අපගේ ගුවන් නියමුවන්ගේ විචක්ෂණශීලීභාවයත්, ගුවන් යානය සතු අති නවීන සන්නිවේදන පද්ධතියත් මගින් එම යානය ආරක්ෂිතව පියාසර කිරීමේ අවස්ථාව සැලසිණි.

තව ද, යානය තුළ සිටි මගීන්, කාර්ය මණ්ඩලය මෙන්ම වටිනා උපකරණ ද ආරක්ෂා කරගනිමින්, අදාළ අනතුර වළක්වාගැනීමට සමත් වූ UL 504 හි ගුවන් නියමුවන්ට ශ්‍රීලංකන් ගුවන් සේවයේ නොමඳ ප්‍රශංසාව හිමි වේ.