හොරෙන් සල්ලි ඇද්ද නිසා පැකර්ට සම්බන්ධ සමාගමක් අමාරුවේ

    August, 11, 2014

    ජේම්ස් පැකර්ගේ මැකාවු කැසිනෝ ව්‍යාපාරික කටයුතු සමග සම්බන්ධ වී සිටින සමාගමක් නීති විරෝධී අයුරින් ඩොලර් මිලියන සිය ගණනක් හුවමාරු කර ඇතැයි තායිවානය විසින් චෝදනා කර තිබෙන අතර තායිපේ දිස්ත්‍රික්කයේ විමර්ශන කාර්යාලය විසින් එම සමාගමට එරෙහිව අධි චෝදනා ගොනුකර තිබෙන බව වාර්තා වේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හොංකොං පදනම් කරගත් MCE International සමාගමේ තායිපේ ශාඛාව විසින් ඩොලර් මිලියන 194 කට වැඩි මුදලක් නීති විරෝධී අයුරින් හුවමාරු කර තිබෙන බවත් මෙය විනිමය හුවමාරු හා පාලන රෙගුලාසි දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බවයි. මෙම MCE International නැමති සමාගම ජේම්ස් පැකර් විසින් මැකාවූහි කැසිනෝ ව්‍යාපාරික කටයුතු සිදුකිරීම සඳහා පිහිටුවාගෙන තිබෙන Melco Crown නැමති ඒකාබද්ධ සමාගමේ ශාඛාවකි.

    මේ පිළිබඳව අදහස් දක්වමින් තායිවානය පවසා තිබෙන්නේ MCE International සමාගම විසින් එරට මූල්‍ය ස්ථායීතාවයට හානි කර තිබෙන බවයි.
    මේ අනුව, තායිවාන විමර්ශකයින් විසින් අධිකරණයෙන් ඉල්ලා තිබෙන්නේ MCE International සමාගම විසින් නීති විරෝධී ලෙස හුවමාරු කර තිබෙන අරමුදල් රාජසන්තක කරන ලෙසයි.

    ජේම්ස් පැකර් සිය ව්‍යාපාරික කටයුතු ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමටද සැලසුම් කර ඇත.