The Coca-Cola Foundation, Janathakshan සහ Eco Spindles හි සහයෝගය මත මීගමුවේදී අපද්‍රව්‍ය පෙර සැකසුම් මධ්‍යස්ථානයක් ස්ථාපනය කරයි

    April, 6, 2023

    ජාත්‍යන්තර ප‍්‍රතිචක‍්‍රීයකරණ දිනයට සමගාමීව 2023 මාර්තු 22 වන දින පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ සහභාගිත්වයෙන් මීගමුව ප‍්‍රතිචක‍්‍රීයකරණ සමාජය (Negombo Recycling Club – NRC) නමින් අපද්‍රව්‍ය පෙර සැකසුම් මධ්‍යස්ථානයක් (Material Recovery Facility –MRF) නිල වශයෙන් දියත් කරන ලදී. මෙම MRF සඳහා අරමුදල් සපයන ලද්දේ Coca-Cola හි පරිත්‍යාගශීලී හස්තය වන Coca-Cola පදනම (TCCF) සහ ශ‍්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරන්නා වන Eco Spindles ය. එය ක‍්‍රියාත්මක කරනු ලැබුවේ ලාභ නොලබන සංවිධානයක් වන Janathakshan (GTE) Ltd විසිනි. මීගමුවේ ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි කසළ එකතු කිරීමේ කි‍්‍රයාදාමය ශක්තිමත් කිරීම හරහා PET ප්ලාස්ටික් ඇතුළු කසළ එකතු කර ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීම තුළින් පරිසර තිරසාරභාවය සහතික කිරීම NRC හි අරමුණයි.

    මීගමුව ප‍්‍රධාන වාණිජ කේන්ද්‍රස්ථානයක් ලෙස මෙන්ම දෙස් විදෙස් සංචාරකයන් අතර වඩාත් ජනප‍්‍රිය සංචාරක ගමනාන්තයක් ලෙස ආකර්ෂණය දිනාගෙන ඇත. කෙසේ වෙතත් වගකීම් විරහිත කසළ බැහැර කිරීම සහ විධිමත් කසළ කළමනාකරණ ක‍්‍රමවේදයක් නොමැතිකම නිසා අපගේ පරිසරයට දැඩි ලෙස සෘණාත්මක බලපෑම් එල්ල වෙයි. මෙම ගැටළුව විසඳීම සඳහා, NRC විසින් ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි ද්‍රව්‍ය වෙන් කර ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන්නන් වෙත යැවීමට පෙර අපද්‍රව්‍ය බේල් කිරීම මඟින් තෙරපා සහ ක‍්‍රශ් කිරීම මඟින් කුඩා කැබලි වලට කපා අගය එකතු කිරීමේ ක‍්‍රියාවලියකට භාජනය කරනු ඇත. අපද්‍රව්‍ය බේල් කිරීම සහ crush බවට පරිවර්තනය කිරීම තුළින් Eco Spindles වැනි ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන්නන්ගෙන් NRC ඉහළ ආදායමක් ලබා ගනියි. MRF ඔවුන්ගේ කසළ එකතුකරන්නන් ජාලයට සාමාන්‍ය ගාස්තුව මෙන් දෙගුණයක් පමණ ගෙවනු ලබයි. NRC ”නැවත මිලදී ගැනීමේ” මධ්‍යස්ථානයක් ලෙස ක‍්‍රියා කරන අතර, ප‍්‍රාදේශීය ප‍්‍රජාවන්ට ඔවුන්ගේ ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි කසළ කෙලින්ම MRF වෙත ලබා දීමට හැකි වේ. ඒ හරහා ජනතාවට තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අවස්ථාව උදාවෙයි.

    ”මීගමුව සහ ඒ අවට ප‍්‍රදේශවල කසළ කළමනාකරණය ශක්තිමත් කිරීමට මූලිකත්වය ගත් Coca-Cola පදනම, Janathakshan (GTE) Ltd, මීගමුව ප‍්‍රතිචක‍්‍රීයකරණ සමාජය සහ Eco Spindles යන ආයතනවලට මම සුබ පතනවා සහ මෙවැනි කාලීන ව්‍යාපෘති දියත් කිරීම සම්බන්ධයෙන් මම ස්තූතිවන්ත වෙනවා. මෙරටට දැවැන්ත ගැටළුවක්ව පවතින අක‍්‍රමවත් කසල බැහැර කිරීම පිළිබඳව සැලකිලිමත් වෙමින්, අපද්‍රව්‍ය එකතු කිරීමේ ජාලය ශක්තිමත් කර එම අපද්‍රව්‍ය ප‍්‍රතිචකී‍්‍රයකරණය කිරීම මෙහිදී සිදු කෙරෙනවා. එම ප‍්‍රතිචකී‍්‍රයකරණය කරන ලද ද්‍රව්‍ය නැවත පරිභෝජනය සඳහා යොදාගැනීම තුළින් අපට තිරසාර අනාගතයක බලාපොරොත්තු දල්වාගත හැකියි.” යනුවෙන්  පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

    ”NRC යනු ශ‍්‍රී ලංකාව තුළ අපද්‍රව්‍ය කළමනාකරණය සහ PET ප්ලාස්ටික් එකතු කිරීම සහ ප‍්‍රතිචක‍්‍රීයකරණය වැඩි කිරීම සඳහා අවිධිමත් අංශයේ අපද්‍රව්‍ය එකතු කිරීමේ පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් ස්ථාපිත කරන ලද වැඩි දියුණු කළ MRF හයෙන් එකක්. ජාතික ප‍්‍රමුඛතාවයක් වන ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි අපද්‍රව්‍ය එකතු කිරීම වැඩි කරන MRF හි මෙම අනුවර්තනය කළ හැකි ආකෘතියට සහාය වීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා. එපමණක් නොව, විශේෂයෙන් මෙරට ජනතාව විකල්ප ආදායම් මාර්ග සොයන මෙම තීරණාත්මක කාල පරිච්ෙඡ්දය තුළ, අවිධිමත් කසළ එකතු කරන්නන්ගේ ජීවන තත්වය නංවාලීමේ මුලපිරීමකට සහය දැක්වීමට හැකිවීම ගැන අපි අතිශයින් සතුටු වෙනවා.” යනුවෙන් Coca-Cola පදනමේ සභාපති Saadia Madsbjerg පැවසීය.

    Eco Spindles හි ප‍්‍රතිචක‍්‍රීයකරණය පිළිබඳ ප‍්‍රධාන විධායක නිලධාරී ප‍්‍රසන්ත මාලිම්බඩගේ මහතා අදහස් දක්වමින්, ”NRC ස්ථාපිත කිරීමේ මෙම ගමනේ කොටස්කරුවෙකු වීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. Eco Spindles යනු PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය සෘජුවම නූල් බවට පත් කිරීමේ තාක්ෂණය ඇති ආසියාවේ එකම පහසුකම් දෙකෙන් එකක් වන අතර දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අලෙවි කෙරෙන අගය එකතු කළ ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද භාණ්ඩ නිෂ්පාදනය කරමින් අපගේ පුළුල් කාර්යභාරය ඉටු කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා. ඊට ඇඟලූම් සඳහා නූල් සහ බුරුසු සහ කොසු සඳහා කෙඳි ඇතුළත් වෙනවා. Coca-Cola Beverages Sri Lanka සමඟ එක්ව ශ‍්‍රී ලංකාවේ පළමු විස්තීර්ණ MRF දෙක දියත් කර ඇති අතර, මෙම ව්‍යාපෘතිය හරහා මෙම ආකෘතිය රට පුරා MRF පුළුල් ජාලයක් වෙත ව්‍යාප්ත කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා.” යනුවෙන් පැවසුවේය.

    නව MRF පිළිබඳ සිය අදහස් බෙදාගත් NRC හි කළමනාකාර අධ්‍යක්ෂ නිශාන්ත පෙරේරා මහතා පැවසුවේ, ”NRC විවෘත කිරීමත් සමඟ මගේ කණ්ඩායමට මීගමුවේ ජනතාවට සහ පරිසරයට ධනාත්මක බලපෑමක් ඇති කිරීමට අවස්ථාවක් ලැබී තිබෙනවා. මෙම ව්‍යාපෘතිය මගින් සපයා ඇති බඳුන් සහ බෑග් වැනි කසළ එකතු කිරීමේ යටිතල පහසුකම් සපයමින් අපගේ එකතුකරන්නන් ශක්තිමත් කිරීමට අපි වෙහෙස මහන්සි වී වැඩ කරමින් සිටිනවා. තවද, අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත‍්‍රයට පිවිසීමේ ප‍්‍රතිලාභ සහ මෙම රැකියාවේ ගෞරවනීයභාවය පිළිබඳ අපි අපගේ ප‍්‍රජාවන් දැනුවත් කරමින් සිටිනවා. එබැවින් අපද්‍රව්‍ය එකතු කරන්නන් විසින් ඉටු කරන ලද වැදගත් කාර්යභාරය පිළිබඳව ජනතාව තේරුම් ගන්නවා. MRF යනු තිරසාර ව්‍යාපාරික ආකෘතියක් වන අතර, ශ‍්‍රී ලංකාව පුරා බොහෝ පිරිසක් අපද්‍රව්‍ය එකතු කිරීමේ වෘත්තිය තම ආදායම් මාර්ගය ලෙස තෝරාගන්නා ප‍්‍රවණතාවක් දකින්න තියෙනවා.” යනුවෙනි.

    ”තිරසාර හා සාධාරණ අනාගතයක් අපේක්ෂා කරන සංවිධානයක් ලෙස, අප අවට වටපිටාව පිරිසිදු පරිසරයක් කරා ගෙන යන එකතුකරන්නන් ශක්තිමත් කරන සහ ප‍්‍රතිචක‍්‍රීයකරණය වැඩි දියුණු කරන මෙම මුලපිරීමේ කොටස්කරුවෙකු වීමට ලැබීම ගැන Janathakshan සතුටු වෙනවා. NRC ස්ථාපිත කිරීමත් සමඟම, කසළ වගකීමෙන් බැහැර කිරීම පිළිබඳ දැනුම ප‍්‍රදේශයේ ජනතාව වෙත ලබා දීමට අපි කටයුතු කරනවා. මෙම කාර්යය දිගටම කරගෙන යාමට සහ ඉතිරි MRF 5 2023 දී දියත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” Janathakshan (Gte) Ltd. හි අධ්‍යක්ෂ මෙහෙයුම් ගෝතමී චන්ද්‍රරත්න මහත්මිය පැවසුය.

    NRC මගින් මීගමුව ආශ‍්‍රිතව එකතු වන අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන අතරම කසළ එකතුකරන්නන්ගේ ජීවන තත්වය වැඩි දියුණු කරයි. එමෙන්ම පරිසර දුෂණය අඩු කරයි, චක‍්‍රීය ආර්ථිකයට දායක වේ, අපනයන ඉපැයීම් සහ තිරසාර සංවර්ධන ඉලක්ක වන 12: වගකීම් සහගත නිෂ්පාදනය සහ පරිභෝජනය, 13: දේශගුණික ක‍්‍රියාව සහ 14: ජලයෙන් පහළ ජීවය යන්න සාක්ෂාත් කර ගනියි.

    PET ප්ලාස්ටික් එකතු කිරීම සහ ප‍්‍රතිචක‍්‍රීයකරණය වැඩිදියුණු කිරීම, අපද්‍රව්‍ය පෙර සැකසුම් මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම, අපද්‍රව්‍ය එකතු කරන වෘත්තිකයින් නගාසිටුවීම සහ පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා Coca-Cola පදනම විසින් ශ‍්‍රී ලංකාවට මෑත වසරවලදී USD 790,000 කට අධික මුදලක් ලබා දී ඇත.