Uber ගියත්, කෑවත් බදු

    March, 13, 2019

    වර්තමානයේ දී කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජනප්‍රිය කුලී රථ සේවාවක් වන Uber සඳහා ගෙවීම් පියවීමේ දී ඒවා විදෙස් පාර්ශවයක් වෙත කරනු ලබන ගෙවීමක් ලෙසින් සැලකෙන බවත්, එබැවින් ඒ සඳහා 3.5% ක ජාතිය ගොඩනැගීමේ බද්ද අදාළ වන බවත් වාර්තා වේ.

    ට්විටර් පණිවුඩයක් මගින් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මුදල් අමාත්‍යාංශයේ ආර්ථික උපදේශක දේශාල් ද මැල් විසින් මේ බව තහවුරු කර තිබේ.

    මෙය Uber කුලීරථ සේවාවන් සඳහා පමණක් නොව, වර්තමානයේ දී ක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් පවතින Uber Eats ආහාරපාන ගෙන්වා ගැනීමේ සේවාව සඳහා ද අදාළ වන බව සඳහන් වේ.

    මෙහිදී මුදල් අමාත්‍යාංයේ ආර්ථික උපදේශක දේශාල් ද මැල් වැඩිදුරටත් කියා සිටින්නේ විදේශීය ගෙවීම් පියවීම සඳහා මෙතෙක් අයකරන ලද 2.5% ක මුද්දර බද්ද මෙවර අයවැයෙන් ජාතිය ගොඩනැගීමේ බද්ද ලෙසින්  3.5% ක් දක්වා ප්‍රතිස්ථාපනය වී ඇති බවත්, Uber ඇතුළු අක්වෙරළ ගෙවුම් (offshore payment) ද මේ සඳහා ඇතුළත් වන බවත්ය.

    මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ආර්ථික උපදේශකවරයා පවසන්නේ එවැනි සමාගම්, දේශීය තරඟකාරී සමාගම් මෙන් ආයතනික හෝ වැට් බදු ගෙවීමක් සිදුනොකරන බවයි.

    ක්‍රෙඩිට් කාඩ්පත් මඟින් සිදුකරනු ලබන මෙවැනි ගෙවීම් සඳහා මෙතෙක් බැංකු විසින් සෑම රු. 1,000 කටම රු. 25 ක බද්දක් මාසිකව අයකර ගනු ලැබූ අතර මෙවර අයවැයෙන් පසු එය රු. 35 ක් දක්වා මේ අනුව ඉහළ යනු ඇත.

    කෙසේ වෙතත් Uber කුලීරථ හා Uber Eats සඳහා ගෙවීම් පියවීමේ දී මුදල් (cash) මගින් ගෙවීමේ පහසුකම ද තිබෙන අතර එවැනි ගෙවීම් මුදල් මඟින් පියවීමේ දී අදාළ මුද්දර බද්ද අයකර ගනු ලබන්නේ කෙසේදැයි මෙතෙක් පැහැදිලි වී නැත.

    මුදල් අමාත්‍යාංශයේ ආර්ථික උපදේශක දේශාල් ද මැල් විසින් තබා ඇති ට්විටර් සටහන පහතින් දැක්වේ.