UTE සමගින් ‘ගොඩනැගෙමු…ගොඩනගමු’

    July, 17, 2017

    වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් මාලාව 2017

    මෙරට කාර්මික ඉංජිනේරු සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛත ම සමාගමක්වන යුනයිටඩ් ට්‍රැක්ටර් ඇන්ඩ් ඉක්විප්මන්ට් (UTE) සමාගම, ඉංජිනේරු ශිල්පීන් බවට පත් වීම සඳහා සිහින දකින උසස් පෙළ සිසුන් සඳහා සිය නවීන UTE පුහුණු මධ්‍යස්ථානයේ නොමිලයේ වැඩමුළු පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    දැනට උසස් පෙළ සිසුන් හදාරන 'ඉංජිනේරු තාක්ෂණ විද්‍යා' විෂය මගින් සිවිල්, යාන්ත්‍රික සහ විද්‍යුත් තාක්ෂණ ආදී ක්ෂේත්‍ර ආවරණය කෙරේ. එහෙත් එම ක්ෂේත්‍ර තුළ අමතර දැනුම සහ ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සහ මෙවලම් ප්‍රමාණවත් පරිදි ඔවුන් හට නොලැබීම ගැටළුවකි.

    එම දූ දරුවන්ගේ තාක්ෂණික කුසලතා සහ අනාගත රැකියා අවස්ථා වඩාත් පුළුල් කිරීම වෙනුවෙන් UTE සමාගම සිය නවීන පුහුණු මධ්‍යස්ථානයේ එක්දින වැඩමුළුවක් සඳහා පැමිණෙන ලෙස ඔවුන්ට ආරාධනා කර සිටී.

    UTE පුහුණු මධ්‍යස්ථානයේ අංශ ප්‍රධානී ගයාන් මල්දෙණිය මහතාගේ සංකල්පයක්වන මෙම වැඩසටහන බස්නාහිර පළාතෙන් ආරම්භ කර අනෙකුත් පළාත්වල පාසල්වලටත් විවර කර ඇත. කිසියම් පාසලක උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාව හදාරන සිසුන් මෙම වැඩසටහන සමග සම්බන්ධ කිරීම සඳහා 0773095175 අංකයෙන් ගයාන් මල්දෙණිය මහතා සම්බන්ධ කර ගත හැකිය.

    මෙමගින් ඉංජිනේරු පද්ධති, ද්‍රවවිද්‍යා ආදී ක්ෂේත්‍ර තුළ ප්‍රායෝගික දැනුම ලබා ගැනීමටත්, නුදුරු අනාගතෙය්දී ඉතා සාර්ථක ක්ෂේත්‍රයක් බවට පත් වෙමින් තිබෙන යාන්ත්‍රික ඉදිකිරීම් අංශයේ කුසලතා වර්ධනය කර ගැනීමටත් දැයේ දූ දරුවන් හට අවස්ථාව උදා කරදීම UTE පුහුණු මධ්‍යස්ථානයේ අරමුණයි. UTE පුහුණු මධ්‍යස්ථානයේ එක්දින වැඩමුළුව සඳහා සහභාගීවන සිසුන් හට එන්ජින් සේවා ස්ථාන, ඩෝසර්, පරිගණක කාමර සහ හයිඩ්‍රොලික් විද්‍යාගාර ආදී අති නවීන සහ මිල අධික මෙවලම් රැසක් පරිහරණය කිරීමේ හැකියාව උදා වේ.

    මේ වන විට බස්නාහිර පළාතේ පාසල් රැසක සිසුන් 150කට ආසන්න ප්‍රමාණයක් මෙම එක්දින වැඩමුළුව සඳහා සහභාගී වෙමින් එහි ප්‍රතිලාභ හිමිකර ගෙන ඇත.

    "ඉංජිනේරු තාක්ෂණ විද්‍යාව යනු අතිශය ප්‍රායෝගික විෂය ක්ෂේත්‍රයක්. නමුත්, එම ප්‍රායෝගික දැනුම ලබා ගැනීමට අවශ්‍ය පරිපූර්ණ මූලාශ්‍ර මෙරට පාසල් දරුවන් හට හිමි වන්නේ ඉතා සීමිත ප්‍රමාණයක් පමණයි. මෙවැනි නවීන සහ සියලු පහසුකම්වලින් සමන්විත පුහුණු මධ්‍යස්ථානයක් භාවිතා කිරීමේ අවස්ථාව දැයේ දූ දරුවන් හට ලබා දීම මගින් ඔවුන් හට සිය අනාගතය සරුසාර කර ගැනීමටත්, එමගින් රටේ අනාගතය වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දීමටත් හැකිවනු ඇති බව අපගේ විශ්වාසයයි" යනුවෙන් UTE සමාගමේ සභාපති ප්‍රසාන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

    මීට සමගාමීව, උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් හට UTE සමාගම විසින් සංවිධානය කරනු ලබන ජාතික ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ තාක්ෂණික සහතිකපත් වැඩසටහන (National Certificate-Construction Equipment Mechanic) සඳහා ලියාපදිංචි විය හැකිය. මෙම වැඩසටහන හතරවන මට්ටමේ ජාතික වෘත්තීය සුදුසුකමක් (NVQ-Level 4) ලෙස පිළිගැනෙන බැවින් පාසල් සිසුන් හට සැබෑ වෘත්තීය තාක්ෂණික ශිල්පීන් බවට පත් වීමේ මග මෙමගින් විවර වේ.