VFS Global සමාගම ශ්‍රී ලංකාව තුළ කොරියානු ජනරජය සඳහා වීසා සේවාවන් අරඹමින් අතිනවීන සේවා මධ්‍යස්ථානයක් කොළඹදී විවෘත කරයි 

    August, 28, 2026

    • 2026 අගෝස්තු 21 දින සිට කොරියානු වීසා අයදුම්කරුවන්ට කොළඹ පිහිටි VFS Global වීසා අයදුම් මධ්‍යස්ථානය වෙත පැමිණ පහසුවෙන් සහ කාර්යක්ෂම ලෙස තම වීසා සේවා අවශ්‍යතා ඉටුකරගත හැක.
    • වීසා අයදුම්පත භාරදීම සඳහා මධ්‍යස්ථානය වෙත පැමිණීමට පෙර වේලාවක් වෙන් කරගැනීම අනිවාර්ය වේ.

    රජයන් සහ පුරවැසියන් වෙනුවෙන් වීසා ඇතුළු අවශ්‍යතා සඳහා සුරක්ෂිත තාක්ෂණික සේවාවන් සපයන ලොව ප්‍රමුඛතම සමාගමක් වන VFS Global, ශ්‍රී ලංකාව තුළ දකුණු කොරියානු වීසා සේවාවන් ආරම්භ කළ බව පසුගියදා නිවේදනය කළේය. මේ සඳහා නවතම වීසා අයදුම්කරණ මධ්‍යස්ථානයක් කොළඹදී විවෘත කරන ලද අතර, මෙම මධ්‍යස්ථානය මඟින් මෙරට කොරියානු වීසා අයදුම්කරුවන්ට වඩාත් පහසු සහ කාර්යක්ෂම සේවා අත්දැකීමක් හිමි වනු ඇත.

    2026 අගෝස්තු 21 දින සිට මෙරට කොරියානු වීසා අයදුම්කරුවන්ට මාර්ගගතව කලින් වේලාවක් වෙන්කරවා ගැනීමෙන් පසු (Online appointment) කොළඹ පිහිටි නව කොරියා වීසා අයදුම් මධ්‍යස්ථානය වෙත පැමිණ සිය අයදුම්පත් භාරදිය හැකි වේ.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී Eunji KANG මහත්මිය පැවසුවේ, තානාපති කාර්යාලය සහ VFS Global වීසා අයදුම් මධ්‍යස්ථානය අතර පවතින සහයෝගීතාව හේතුවෙන් වීසා අයදුම්කරුවන්ට වැඩි පහසුවක් සහ වඩාත් උසස් සේවාවක් හිමි වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

    මේ අතර VFS Global සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී (දකුණු ආසියානු කලාපය) Yummi Talwar මහත්මිය මෙසේ අදහස් දැක්වූවාය: “අපගේ කොරියා වීසා අයදුම් මධ්‍යස්ථානය ආරම්භ කිරීම, ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වීසා අයදුම්පත් භාරදීමේ ක්‍රියාවලිය වඩාත් පහසු සහ කාර්යක්ෂම කිරීම සඳහා තබන ලද වැදගත් පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්. කොළඹ නගරයේ පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක පිහිටා ඇති මෙම මධ්‍යස්ථානය, වැඩි ඉඩකඩක් සමඟ නවීන පහසුකම්වලින්ද සමන්විතයි. වීසා අයදුම් කිරීමේ ක්‍රියාවලියේ සෑම අදියරකදීම අයදුම්කරුවන්ට සහය වීම සඳහා මනා පුහුණුවක් ලැබූ පාරිභෝගික සේවා නියෝජිත කණ්ඩායමක් මෙහි සේවයේ යෙදී සිටිනවා.”

    VFS Global සමාගම 2011 වසරේ සිට වීසා ක්‍රියාවලිය සඳහා කොරියානු ජනරජයේ විශ්වාසනීය හවුල්කරුවෙකු ලෙස කටයුතු කරයි. මේ වන විට එම සමාගම ලොව රටවල් 5 ක ස්ථාපිත කර ඇති වීසා අයදුම් මධ්‍යස්ථාන 7 ක් හරහා කොරියානු ජනරජය වෙනුවෙන් වීසා සේවාවන් සපයයි.

    වීසා අයදුම් කිරීමේ ක්‍රියාවලියේදී VFS Global සමාගමේ කාර්යභාරය මූලික පරිපාලන කටයුතුවලට පමණක් සීමා වේ. වීසා අයදුම්පත් එකතු කිරීම, පිරික්සුම් ලැයිස්තුවට අනුව අවශ්‍ය ලිපිලේඛන සියල්ල තිබේදැයි පරීක්ෂා කිරීම සහ ජෛවමිතික දත්ත ලබාගැනීම වැනි කාර්යයන් රැසක් VFS Global මඟින් ඉටුකරනු ලබයි. වීසා ලබාදීම හෝ ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධ තීරණ ගැනීමේ ක්‍රියාවලියට VFS Global කිසිදු ආකාරයකින් සම්බන්ධ නොවන අතර, එහි පූර්ණ බලතල සහ වගකීම දරනු ලබන්නේ අදාළ තානාපති කාර්යාලය මඟිනි.

    කොළඹ පිහිටි කොරියානු ජනරජ වීසා අයදුම් මධ්‍යස්ථානය

    • ලිපිනය: 2 වැනි මහල, අංක 657, ආචාර්ය ඩැනිස්ටර් ද සිල්වා මාවත, කොළඹ 09
    • සේවාවන් සපයනු ලබන වේලාවන්: පෙ.ව. 8.00 සිට ප.ව. 4.00 දක්වා
      • අයදුම්පත් භාරගැනීම: පෙ.ව. 8.00 සිට ප.ව. 3.00 දක්වා
      • විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම: පෙ.ව. 10.00 සිට ප.ව. 4.00 දක්වා

    වීසා අවශ්‍යතා, ගාස්තු, වේලාවන් වෙන්කරවාගැනීම සහ ලබාගත හැකි සේවාවන් පිළිබඳ නවතම තොරතුරු සඳහා කරුණාකර කොරියානු ජනරජ තානාපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය සහ VFS Global සමාගමේ නිල වෙබ් අඩවිය පමණක් භාවිතා කරන්න.

    වැඩිදුර තොරතුරු දැනගැනීම හෝ වේලාවක් වෙන්කරවාගැනීම සඳහා https://visaforkorea-sl.com වෙත පිවිසෙන්න.

     

    ඡායාරූපය : නව වීසා මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වූ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා කොරියානු ජනරජයේ හිටපු තානාපතිනි Miyon Lee (වමේ සිට දෙවැනියට), කොරියානු ජනරජයේ තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් සහ කොන්සල් නිලධාරී Jung Haesung (වමේ සිට තෙවැනියට) සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා VFS Global හි දේශීය කළමනාකරු Manpreet Singh Arora යන මහත්ම මහත්මීන්