WhatsApp වෙතින් අපේ දුරකතන සමාගම් වලට මරු පහරක්

    February, 10, 2014

    මොහොතින් මොහොත වෙනස් වන නවීන තාක්ෂණය අන් කවරදාකටත් වඩා ව්‍යාපාරික ලෝකය අසුරු සැණින් උඩු යටිකුරු කිරීමට මේ වනවිට සමත්ව තිබෙනවා. ස්මාර්ට් ෆෝන් හෙවත් නවීන ජංගම දුරකතනවල තිබෙන නොමිලේ කෙටි පණිවුඩ යැවිය හැකි ඇප් සේවාවක් නිසා එස්.එම්.එස්. එහෙමත් නැත්නම් දුරකතන සමාගම්වල කෙටි පණිවුඩ ව්‍යාපාරයටද අනාගතයේදී මරු පහරක් එල්ල විය හැකි බවයි නවතම සමීක්ෂණ වාර්තාවක් මගින් පෙන්වා දී තිබෙන්නේ.

    මෙම කතාන්දරය අපිට සමීප වන්නේ මෙම තර්ජනයට වඩාත් ලක්වන්නේ ආසියාවේ දුරකතන සමාගම් යැයි මෙම සමීක්ෂණයේ දක්වා තිබීම නිසයි.ජංගම දුරකතනයක් භාවිතා කරන ඔබට එහි වඩාත්ම සමීප සේවාව කුමක්දැයි විමසූ විට කෙටි පණිවුඩ යැයි අනිවාර්යෙන්ම පිළිතුරු දේවි.

    අඩු වියදමින් තමන්ට අවශ්‍ය සන්නිවේදනය සිදුකිරීමට කෙටි පණිවුඩ මගින් හැකිවීම මෙම ජනප්‍රියත්වයට හේතුවයි.මෙම ජනප්‍රියත්වය නිසාම කෙටි පණිවුඩ ව්‍යාපාරික කටයුතු වලින් දුරකතන සමාගම් විශාල ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා.

    නමුත්, එංගලන්තය පදනම් කරගත් බිස්නස් මොනිටර් ඉන්ටර්නැෂනල් උපදේශන ආයතනය කරන තිබෙන නවතම සමීක්ෂණයක් මගින් අනාවරණය කර තිබෙන්නේ ස්මාර්ට් ෆෝන් හෙවත් නවීන ජංගම දුරකතනවල තිබෙන WhatsApp නැමති ඇප් සේවාව නිසා ආසියාවේ දුරකතන සමාගම්වල කෙටි පණිවුඩ ව්‍යාපාරය අනාගතයේදී බිඳ වැටීමේ අවස්ථාවක් තිබෙන බවයි.

    මෙම WhatsApp නැමති සේවාව තුළින් නොමිලේ සීමා රහිත ලෙස කෙටි පණිවුඩ යැවීමට හැකිවීම නිසා එය වඩාත් ජනප්‍රිය වෙමින් තිබීමත් දුරකතන සමාගම් වලට මුදල් ගෙවා කෙටි පණිවුඩ යැවීම අඩු වෙමින් තිබීමත් මෙයට හේතුවයි.

    සංවර්ධිත රටවල කෙටි පණිවුඩ භාවිතය දැවැන්තව අඩුවීම මෙයට සාක්ෂි සපයන බවත් මෙම තර්ජනයට මුහුණ දීමට ආසියාවේ දුරකතන සමාගම් සූදානම් විය යුතු බවත් මෙම වාර්තාවෙන් අවධාරණය කර තිබෙනවා.