වැට් බද්ද සියයට 8ක් දක්වා පහළට

    November, 27, 2019

    එකතු කළ අගය මත​ බද්ද හෙවත් වැට් (VAT) බද්ද 8%ක් දක්වා අඩු කිරීමට නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල හමුවේ දී තීරණය කර තිබේ. මේ අනුව 15%ක් ලෙස පැවති වැට් බදු අනුපාතිකය 8%ක් දක්වා අඩු කිරීමට කැබිනට් මණ්ඩලය විසින්  පියවර ගෙන ඇත.

    “සියලූම භාණ්ඩ හා සේවාවන්ට මේ වන විට අයකරමින් තිබෙන 15% ක වැට් බද්දත්, 2%ක ජාතිය ගොඩනැගීමේ බද්දත්, දෙකම එකතු වුණාම 17%ක් වෙන බද්ද, සම්පූර්ණයෙන් ගළපලා 8% දක්වා වහා ක්‍රියාත්මක වන පරිදි , 2019 දෙසැම්බර් 01 දින සිට වැට් බද්ද පහත හෙලනවා “, යනුවෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.

    එකතු කළ අගය මත​ බද්ද 2002 අංක 14 දරණ පනත මඟින් හඳුන්වා දෙන ලද අතර එය 2002 අගෝස්තු 01 වැනි දින සි​ට බල පැවැත්වුණි . භාණ්ඩ හා සේවා බද්ද වෙනුවට එකතු කළ අගය මත බද්ද පනවන ලද අතර එය භාණ්ඩ හා සේවා පරිභෝජනය මත අය කරන බද්දකට බොහෝ සෙයින් සමාන වේ.

    එය දේශීය භාණ්ඩ හා සේවා පරිභෝජනය මත පනවන ලද බද්දකි. ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ හා ශ්‍රී ලංකාවේ දේශසීමාව තුල සපයනු ලබන භාණ්ඩ හා සේවා මෙම බද්දෙහි විෂය පථයට ඇතුලත් වේ. මෙම බද්ද භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේ සහ බෙදාහැරීමේ ජාලයේ සෑම අදියරකදී ම වර්ධක අගය මත අයකරනු ලබන විවිධ අදියරයන්ගෙන් සමන්විත බද්දකි.

    බද්ද අවසාන වශයෙන් පරිභෝජනය කරනු ලබන පාරිභෝගිකයා විසින් දරනු ලැබේ. එය වක්‍ර බද්දක් වන අතර නිෂ්පාදනය හා බෙදාහැරීමේ ජාලයේ සියලු අතරමැදි සැපයුම් කරුවන් හරහා අවසන් පාරිභෝගිකයා විසින් ගෙවනු ලබන බද්දෙහි වටිනාකමට සමාන වටිනාකමක් අවසානයේ දී රජයට ලැබේ. ​​