header logo
Top News
2026/27 මුල් කාර්තුවේ දී ශ්‍රීලංකන් ගුවන් සමාගමට රු. බිලියන 35.6ක බදු පෙර අලාභයක්
2026/27 මුල් කාර්තුවේ දී ශ්‍රීලංකන් ගුවන් සමාගමට රු. බිලියන 35.6ක බදු පෙර අලාභයක්

ශ්‍රීලංකන් ගුවන් සමාගම 2026/27 මූල්‍ය වර්ෂයේ පළමු මාස තුන තුළ සැලකිය යුතු මූල්‍ය අලාභයක් වාර්තා කර ඇත. සමාගම විසින් ඉදිරිපත් කරන ලද විගණනය නොකළ කළමනාකරණ ගිණුම් අනුව, අදාළ කාලපරිච්ඡේදය තුළ මුළු ආදායම රු. බිලියන 82.8 ක් වූ අතර, 2025/26 මූල්‍ය වර්ෂයේ සමාන කාලපරිච්ඡේදයේ දී මුළු ආදායම රු. බිලියන 62.6 ක් විය. අදාළ කාලපරිච්ඡේදය තුළ මැදපෙරදිග කලාපයේ ගැටුම්කාරී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ගුවන් සම්බන්ධතා කෙරෙහි බාධා ඇති වූ අතර, ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් මැදපෙරදිග ගමනාන්ත කිහිපයක් වෙත ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ගුවන් අවකාශ සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව නැවත ගුවන් ගමන් ආරම්භ කරන ලදී. විශේෂයෙන්ම මැදපෙරදිග ගමනාන්ත, ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ජාලය කෙරෙහි ඇති වැදගත්කම හේතුවෙන්, මෙම බාධා වීම් මගී හා භාණ්ඩ ප්‍රවාහන ආදායම් කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමේ අවදානමක් ඇති කළේ ය. ඒ අතර, එම කාලය තුළ කලාපීය ගුවන් ගමන් තාවකාලිකව ශ්‍රී ලංකාව හරහා යොමු කිරීම සහ ගුවන් ගමන් මාර්ග වෙනස් කිරීම, ගුවන් සේවා අංශය වෙත ඇති වූ අහිතකර බලපෑම යම් ප්‍රමාණයකට අවම කරමින් ඇතැම් අතිරේක ගුවන් සේවා හා මගී ගමන් සේවා සඳහා අවස්ථාව සලසන ලදී.

මුළු ආදායමේ වර්ධනයක් පැවැතියද, 2025/26 මූල්‍ය වර්ෂයේ පළමු මාස තුන තුළ වූ රු. බිලියන 67.8 ට සාපේක්ෂව 2026/27 මූල්‍ය වර්ෂයේ සමාන කාලපරිච්ඡේදය තුළ මුළු වියදම සියයට 40.4 කින් රු. බිලියන 95.2 ක් දක්වා ඉහළ යන ලදී. මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් ගුවන් යානා ඉන්ධන පිරිවැය සියයට 93.0 කින් පමණ රු. බිලියන 41.2 ක් දක්වා ඉහළ යාම හේතු විය. ඒ අනුව, විදේශ විනිමය අනුපාත වෙනස් වීම්වල බලපෑමට පෙර අදාළ කාලපරිච්ඡේදය තුළ සමාගම ආසන්න වශයෙන් රු. බිලියන 12.5 ක මෙහෙයුම් අලාභයක් වාර්තා කර ඇත.

විදේශ විනිමය අනුපාතවල සිදු වූ වෙනස් වීම් සමාගමේ මූල්‍ය කාර්යසාධනය කෙරෙහි තවදුරටත් අහිතකර ලෙස බලපා ඇත. ඒ අනුව, සමාගම විසින් සමාලෝචිත කාලපරිච්ඡේදය සඳහා රු. බිලියන 35.6 ක බදු පෙර අලාභයක් වාර්තා කර ඇති අතර, 2025/26 මූල්‍ය වර්ෂයේ සමාන කාලපරිච්ඡේදයේදී වාර්තා වූ ශුද්ධ අලාභය රු. බිලියන 12 ක් විය. ශ්‍රීලංකන් කේටරින් සමාගමේ වර්ධනය වූ රු. බිලියන 3.4 ක ශුද්ධ ආදායම හේතුවෙන් සමූහයේ ශුද්ධ අලාභය රු. බිලියන 32.2 ක් දක්වා අඩු විය.

ඉහත මූල්‍ය කාර්යසාධනය මඟින් ශ්‍රීලංකන් ගුවන් සමාගම අඛණ්ඩව සැලකිය යුතු ව්‍යුහාත්මක මූල්‍ය හා ද්‍රවශීලතා අභියෝගයන්ට මුහුණ දෙමින් සිටින බව පෙන්නුම් කරයි. සැලකිය යුතු මෙහෙයුම් හිඟය, ඉහළ ඉන්ධන හා නඩත්තු පිරිවැය, විදේශ විනිමය අලාභ සහ මූල්‍ය පිරිවැය හේතුවෙන් සිය මෙහෙයුම් හා මූල්‍ය වගකීම් ඉටු කිරීම සඳහා ප්‍රමාණවත් අභ්‍යන්තර මුදල් ප්‍රවාහයක් ජනනය කිරීමට සමාගමට ඇති හැකියාව තවදුරටත් සීමා වී ඇත. සමාගම සතුව පවතින ඉහළ ණය බර සහ අඛණ්ඩ මෙහෙයුම් පවත්වාගෙන යාම සඳහා රජයේ සහාය අවශ්‍ය වීම හේතුවෙන් මෙම තත්ත්වය විශේෂයෙන් වැදගත් වේ.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මූල්‍ය තත්ත්වය අඛණ්ඩව ඉහළ ණය බරකින් යුක්ත විය. 2026 ජුනි මස අවසානය වන විට සමාගමේ මුළු වත්කම් රු. බිලියන 209.9 ක් වූ අතර, මුළු වගකීම් රු. බිලියන 561.4 ක් විය. ඒ අනුව, සමාගම විසින් රු. බිලියන 351.5 ක සෘණ හිමිකම් ප්‍රාග්ධනයක් වාර්තා කර ඇත. එබැවින්, සමාලෝචිත කාලපරිච්ඡේදය තුළ ද සමාගම සිය ප්‍රාග්ධනයේ සැලකිය යුතු හානියකට ලක්ව පවතින තත්ත්වයක් වාර්තා කර ඇත.

2026 වර්ෂයේ පළමු මාස හය තුළ අදාළ ත්‍රෛපාර්ශ්වික ගිවිසුම් යටතේ ලංකා බැංකුව සහ මහජන බැංකුව විසින් ලබා දී ඇති තෝරාගත් ණය පහසුකම්වල පළමු හා දෙවන වාරික ගෙවීම් සඳහා රජය විසින් මූල්‍ය සහාය ලබා දෙන ලදී. මීට අමතරව, ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා රජය විසින් ඇ.ඩො. මිලියන 30 ක මුදලක් ලබාදෙන ලදී. තවද, ඇ.ඩො. මිලියන 175 ක රජය විසින් සහතික කරන ලද බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අනතුරුව, ප්‍රතිව්‍යුහගත කරන ලද ඇ.ඩො. මිලියන 126.5 ක බැඳුම්කර 2026 මාර්තු 20 දින සිට බලපැවැත්වෙන පරිදි රජයේ ණය තොගයට ඇතුළත් කරන ලදී.

අඛණ්ඩ මෙහෙයුම් හා බාහිර බලපෑම් මධ්‍යයේ වුවද සමාගමේ මෙහෙයුම් පවත්වාගෙන යාමට සහ කෙටිකාලීන මූල්‍ය වගකීම් ඉටු කිරීම සඳහා මෙම ක්‍රියාමාර්ග මඟින් අත්‍යවශ්‍ය සහායක් සපයනු ලැබීය. තවද, ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මූල්‍ය තිරසාරභාවය සහ වාණිජමය ශක්‍යතාව ශක්තිමත් කිරීම මෙන්ම රජය මත දිගුකාලීනව ඇති විය හැකි මූල්‍ය බර අවම කිරීමේ අරමුණින්, පුළුල් සමාලෝචනයක් සිදු කිරීම සඳහා උපායමාර්ග හා ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවක් ස්ථාපිත කිරීමට 2026 ජුනි මාසයේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 2026 වර්ෂය මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

MostRead
VideoStories
REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%