
තරුණ තරුණියන් 80 දෙනෙකුගේ වෘත්තීය පුහුණුව සඳහා හැටන් නැෂනල් බැංකුවෙන් රුපියල් මිලියන 3.2 ක ආයෝජනයක්
හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සංවිධානය සමඟ පවත්වාගෙන යන දීර්ඝකාලීන හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, යාපනය සහ මල්පොත පිහිටි SOS වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල තරුණ තරුණියන් 80 දෙනෙකුගේ වෘත්තීය පුහුණුව හා සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 3.2 ක මුදලක් ආයෝජනය කිරීමට ඉදිරිපත් වී සිටී.
තරුණ තරුණියන්ට රැකියා ලබාගෙන ස්වාධීන ජීවිත ගතකිරීමට හැකි වීමට නම් ඔවුන්ට නිසි වෘත්තීය පුහුණුවක් ලබාදීම අත්‍යවශ්‍යය. මෙම අවශ්‍යතාව හඳුනාගනිමින් ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සංවිධානය ප්‍රායෝගික හා රැකියා ඉලක්ක කරගත් පුහුණුවක් ලබාදෙන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන කිහිපයක් පවත්වාගෙන යයි. හැටන් නැෂනල් බැංකුවේ දායකත්වය සමඟින් මෙම ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කිරීමට ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සංවිධානයට හැකියාව ලැබෙන අතර, ඒ ඔස්සේ අනාගතයේදී තිරසාර ජීවනෝපාය මාර්ග ගොඩනංවා ගනිමින් මූල්‍ය ස්වාධීනත්වය ළඟා කරගැනීමට මෙම තරුණ තරුණියන්ට හැකි වනු ඇත.
ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සංවිධානයේ ජාතික අධ්‍යක්ෂ දිවාකර් රත්නදුරෙයි මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය:
“වෘත්තීය පුහුණුව යනු හුදෙක් තාක්ෂණික කුසලතා දියුණු කිරීම පමණක් නොවෙයි. එය තරුණ තරුණියන්ගේ අනාගතයට සෑම අතින්ම බලපාන දෙයක්. රැකියාවක නිරත වෙමින් ස්වාධීනව ජීවත් වීමට අවශ්‍ය දැනුම සහ පළපුරුද්ද එමඟින් ඔවුන්ට ලැබෙනවා. හැටන් නැෂනල් බැංකුව සමඟ පවතින මෙම දීර්ඝකාලීන හවුල්කාරීත්වයත්, තරුණ තරුණියන් වෙනුවෙන් වඩාත් ශක්තිමත් හා තිරසාර අනාගතයක් නිර්මාණය කිරීම සඳහා එම බැංකුව දක්වන අඛණ්ඩ දායකත්වයත් අප බෙහෙවින් අගය කරනවා.”
මෙම වැඩසටහන, දෙමාපිය රැකවරණය අහිමි දරු දැරියන් තරුණ වියට එළඹී ස්වාධීන වැඩිහිටි ජීවිතයකට සූදානම් වන විට, එම ජීවිතය සාර්ථක කරගැනීම අවශ්‍ය දැනුම හා පුහුණුව ඔවුන් වෙත ලබාදීම සඳහා ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සංවිධානය දරමින් සිටින දීර්ඝකාලීන උත්සාහයක තවත් සුවිශේෂී ඉදිරි පියවරකි.
1981 වසරේ සිටම ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සංවිධානය දෙමාපිය රැකවරණය අහිමි දරුවන්ට පවුල් පරිසරයකට සමාන රැකවරණයක් ලබා දී ඇති අතර, දෙමාපිය රැකවරණය අහිමි වීමේ අවදානමට මුහුණ දී සිටින දරුවන්ට වෙනුවෙන් පවුල් ශක්තිමත් කිරීමේ වැඩසටහන් (Family Strengthening Programmes) ද ක්‍රියාවට නංවා තිබේ. වර්තමානයේදී එම ආයතනය ළමා ගම්මාන 6 ක්, ප්‍රදේශ 11 ක ක්‍රියාත්මක වන පවුල් ශක්තිමත් කිරීමේ වැඩසටහන් මාලාවක් සහ අනුරාධපුරය, මොණරාගල, යාපනය හා මල්පොත යන ප්‍රදේශවල වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 4 ක් පවත්වාගෙන යයි.
හැටන් නැෂනල් බැංකුව සහ ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සංවිධානය එක්ව ක්‍රියාවට නංවන මෙම සුවිශේෂී මෙහෙවර තුළින් තරුණ තරුණියන්ගේ රැකියා නියුක්තිය ඉහළ නංවමින්, තිරසාර ජීවනෝපායන් ඔස්සේ දරිද්‍රතාවයෙන් මිදීමට අවශ්‍ය කුසලතා ඔවුන් තුළ වර්ධනය කිරීමට හැකි වනු නිසැකය.
ඡායාරූපය: හැටන් නැෂනල් බැංකුවේ සහ ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සංවිධානයේ නියෝජිතයන් යාපනය සහ මල්පොත පිහිටි SOS වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල වෘත්තීය පුහුණු කටයුතු පුළුල් කිරීමට අදාළ ගිවිසුම හුවමාරු කරගත් අවස්ථාව



















