header logo
Top News
JXG සහ ලංකා වාණිජ මණ්ඩලය එක්ව රටේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා ‘BREAKTHROUGH’ දියත් කරයි
JXG සහ ලංකා වාණිජ මණ්ඩලය එක්ව රටේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා ‘BREAKTHROUGH’ දියත් කරයි

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) විසින් ලංකා වාණිජ මණ්ඩලය සමඟ එක්ව, දේශීය ව්‍යාපාරවලට අත්වැලක් වීම අරමුණු කරගත් ජාතික මට්ටමේ ව්‍යවසායක සංවර්ධන වැඩසටහනක් ‘BREAKTHROUGH’ නමින් ක්‍රියාවට නංවා තිබේ. රටේ ව්‍යාපාරවල වර්ධනයට ඇති බාධක හඳුනාගෙන ඒවා ඉවත් කරමින්, වාණිජ ඉලක්ක ළඟා කර ගැනීමට ව්‍යවසායකයන්ට අවශ්‍ය සහය ලබා දීම එහි ප්‍රධානතම අරමුණයි.

ශ්‍රී ලංකාව මේ වන විට පවතිනුයේ ආර්ථික ප්‍රගතිය සඳහා තරගකාරී ව්‍යාපාර නිර්මාණය කිරීම, රැකියා උත්පාදනය කිරීම, නව කර්මාන්ත බිහි කිරීම සහ දේශීය වෙළෙඳපොළෙන් ඔබ්බට ව්‍යාප්ත වීම අතිශය වැදගත් වන යුගයක ය. BREAKTHROUGH යනු එම අවශ්‍යතාවන් සපුරාලීම සඳහා පෞද්ගලික අංශයෙන් ලැබෙන සුවිශේෂී දායකත්වයක් ලෙස හැඳින්විය හැක. ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත ව්‍යාපාර ශ්‍රී ලංකාවෙන් බිහි වී ඇතත්, රටේ ව්‍යාපාර බහුතරයක් තවමත් ප්‍රාග්ධනය, වෘත්තීය විශේෂඥතාව, ව්‍යාපාරික සම්බන්ධතා සහ මඟපෙන්වීම සම්බන්ධ අභියෝග රැසකට මුහුණ දෙමින් තිබේ.

මෙම වැඩසටහන සැලසුම් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයට පුරෝගාමී දායකත්වයන් දැක්වූ සහ තවත් ක්ෂේත්‍ර ගණනාවක අත්කරගත් සාර්ථකත්වය ඔස්සේ JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ගමන්මඟ හැඩගැස්වීමට දායක වූ එහි නිර්මාතෘ සහ ගරු සභාපති සී. ටී. ඒ. ශාෆ්ටර් මහතාගේ ව්‍යවසායකත්ව ගමන්මඟ තුළින් ආභාසය ලබමිනි. රක්ෂණ ක්ෂේත්‍රය ජය ගැනීමෙන් නොනැවතුණු ශාෆ්ටර් මහතා, නිවැරදිව අවදානම් දරමින් අධ්‍යාපනය, නිෂ්පාදන, අපනයන සහ කෘෂිකර්මාන්තය ඇතුළු විවිධ ක්ෂේත්‍ර වෙත පිවිසෙමින් එම ක්ෂේත්‍ර තුළද සාර්ථක ව්‍යාපාර ගොඩනැංවීමට සමත් විය. සාම්ප්‍රදායික සීමාවන්ගෙන් ඔබ්බට යාමේ උනන්දුව, නව හැකියාවන් ගවේෂණය කිරීම සඳහා වූ කැපවීම සහ හඳුනාගත් අවස්ථා ඔස්සේ සාර්ථක ව්‍යාපාර ගොඩනැංවීමේ හැකියාව ඔහුගේ ව්‍යාපාරික සාර්ථකත්වය තුළින් මැනැවින් පිළිබිඹු වේ.

මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි කළමනාකාර අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ශාෆ්ටර් මහතා මෙසේ පැවසීය: 
“අපගේ නිර්මාතෘ සහ ගරු සභාපති සී. ටී. ඒ. ශාෆ්ටර් මහතාගේ ව්‍යවසායකත්ව ගමන්මඟ තුළින් අපට ලබාගත හැකි වටිනාම ආදර්ශය වන්නේ, ව්‍යාපාරයක් ගොඩනැංවීමේදී තමන්ට සුවපහසු සීමාවන්ගෙන් ඔබ්බෙහි පවතින අවස්ථා හඹා යෑමේ ධෛර්යය, නිර්භීත තීරණ ගැනීමේ හැකියාව සහ අදහස් යථාර්ථයන් බවට පත් කිරීම සඳහා වන කැපවීම කෙතරම් වැදගත්ද යන්නයි. රක්ෂණ ක්ෂේත්‍රය තුළ අත්කරගත් සාර්ථකත්වයට සමගාමීව කිරි කර්මාන්තයට පිවිසී 1978 වසරේදී කොත්මලේ සමාගම ආරම්භ කිරීමට ඔහු ගත් තීරණය, ඔහුගේ ව්‍යාපාරික චින්තනයේ ස්වභාවය මැනැවින් පිළිබිඹු කරනවා.

“ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් මේ දක්වා අත්කරගෙන ඇති ජයග්‍රහණ දෙස බලන්න. Expolanka සමාගම කෘෂි නිෂ්පාදන ව්‍යාපාරයක සිට ගෝලීය සැපයුම් සමාගමක් දක්වා වර්ධනය වුණා. ශ්‍රී ලාංකික ව්‍යවසායකයෙකු වන ක්‍රිස් කනකරත්න සම-නිර්මාතෘවරයෙකු වූ Virtusa සමාගම, බොස්ටන් සහ කොළඹ අතර ගනුදෙනු සිදුකළ කුඩා කණ්ඩායමකින් ආරම්භ වී ගෝලීය තාක්ෂණික සමාගමක් බවට පත් වුණා. Vega Innovations සමාගම දේශීය ඉංජිනේරු හැකියාවන් උපයෝගී කරගනිමින් විදුලි සුපිරි මෝටර් රථයක් නිර්මාණය කළා. මේ ව්‍යාපාර කිසිවක් අප අද දකින මට්ටමේ දැවැන්ත සමාගම් ලෙස ආරම්භ වූ ඒවා නොවෙයි. ගතානුගතික සීමාවන්ගෙන් ඔබ්බට චින්තනය මෙහෙයවමින්, අවදානම් දරමින් දුෂ්කර ඉලක්ක හඹා ගිය නිසා ඒවා අද පවතින මට්ටමට දියුණු වී තිබෙනවා.

“මේ මාවතේ ගමන් කිරීම සඳහා අප ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් වැඩි වැඩියෙන් දිරිගැන්විය යුතුයි. ව්‍යාපාර දියුණු කිරීමට, නව නිෂ්පාදන බිහි කිරීමට, රැකියා උත්පාදනය කිරීමට සහ ආර්ථිකයට අර්ථවත් දායකත්වයක් ලබා දීමට හැකියාව ඇති ව්‍යාපාර රට පුරාම විසිරී තිබෙනවා. එහෙත් ඒවාට තම සීමාවන්ගෙන් ඔබ්බට ගමන් කිරීමට අවශ්‍ය ප්‍රාග්ධනය, වෘත්තීය විශේෂඥතාව සහ පළපුරුදු මඟපෙන්වීම ලැබෙන්නේ නැහැ. BREAKTHROUGH වැඩසටහන හරහා අප උත්සාහ කරන්නේ මෙම කාලීන අවශ්‍යතාව සපුරාලීමටයි. ලංකා වාණිජ මණ්ඩලය සමඟ එක්ව, දක්ෂ ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර දියුණු කර ගැනීම සඳහා අවශ්‍ය සහය සහ මඟපෙන්වීම ලබා දීමට අප උත්සාහ කරනවා. අපට අවශ්‍ය වන්නේ දේශීය ව්‍යාපාර දියුණු වෙමින් රටට ප්‍රතිලාභ අත්කර දෙනු දැකීමටයි. මේ අරමුණ පෙරදිරිව අප ‘Breaking Barriers, Forging Futures’ යන තේමාව යටතේ මෙය ක්‍රියාවට නැංවූවා.”

ව්‍යාපාර ගොඩනැංවීම සහ කළමනාකරණය කිරීම පිළිබඳ ජනශක්ති සමූහ ව්‍යාපාරය සතු අත්දැකීම් සමඟ ලංකා වාණිජ මණ්ඩලයේ ශක්තිමත් ව්‍යාපාරික සම්බන්ධතා සහ ආයතනික පරාසය එක්තැන් කරන BREAKTHROUGH වැඩසටහනට තවත් සමාගම් හා ආයතන කිහිපයක්ද අමතර සහය ලබා දෙනු ඇත.

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර (MSMEs) සහ ආරම්භක මට්ටමේ ව්‍යාපාර ආවරණය කරන මෙම වැඩසටහන දිවයිනේ පළාත් සියල්ල ආවරණය කරමින් ක්‍රියාත්මක වීමට නියමිතය. නිෂ්පාදන සහ සේවා ක්ෂේත්‍රවල ක්‍රියාත්මක වන ව්‍යාපාරවලට මෙම වැඩසටහන සමඟ සම්බන්ධ විය හැක. තෝරාගැනීමේ ක්‍රියාවලිය පළාත් මට්ටමින් සිදු කරනු ලබන අතර, ඉන් අනතුරුව කෙටි ලැයිස්තුගත වන ව්‍යවසායකයන් සඳහා වැඩමුළු, උපදේශන සැසි සහ ව්‍යාපාර සංවර්ධන සැසි පැවැත්වේ. විශේෂඥ සමීක්ෂණ මණ්ඩලයක් මඟින්, අදාළ ව්‍යාපාරවල ශක්‍යතාව, නවෝත්පාදනය, ව්‍යාපාර කටයුතු පුළුල් කිරීමේ හැකියාව, තිරසාරත්වය, ආචාරධාර්මික භාවිතයන් සහ ආර්ථිකයට හා ප්‍රජාවට සිදු කළ හැකි ධනාත්මක බලපෑම් යනාදී සාධක සැලකිල්ලට ගනිමින් තෝරාගැනීම් සිදු කරනු ඇත.

තෝරාගනු ලබන ව්‍යාපාර 20ක් සඳහා සමස්තයක් වශයෙන් රුපියල් මිලියන 70ක මුදලක් ප්‍රදානය කරනු ලබන අතර, එක් ව්‍යාපාරයක් සඳහා ලබා දෙන මුදල රුපියල් මිලියන 1ත් රුපියල් මිලියන 5ත් අතර පරාසයක පවතී. එක් එක් ව්‍යාපාරයේ වර්තමාන තත්ත්වය, අවශ්‍යතා, වර්ධන ඉලක්ක සහ බලපෑම අනුව අරමුදල් ප්‍රමාණය තීරණය කෙරේ.

මෙම වැඩසටහන මූල්‍යමය සහයෝගයන්ට සීමා නොවන අතර, තෝරාගනු ලබන ව්‍යවසායකයන්ට මුදල් ප්‍රදානයෙන් අනතුරුව මාස 12ක් පුරා ක්‍රියාත්මක වන ව්‍යාපාර සංවර්ධන වැඩසටහනකට සහභාගී වීමේ අවස්ථාව හිමි වේ. එහිදී මාර්ගෝපදේශ සේවාවන්, ආයෝජක ජාල, බැංකු හා රක්ෂණ සහය, වෘත්තීය විශේෂඥතාව සහ කාර්තුමය ප්‍රගති සමාලෝචන ආදිය වෙත ප්‍රවේශ වීමට ව්‍යවසායකයන්ට අවස්ථාව හිමි වනු ඇත. JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ එහි විවිධ සමාගම්වල ප්‍රවීණ වෘත්තිකයන් මූල්‍ය, මානව සම්පත්, තොරතුරු තාක්ෂණ, අලෙවිකරණ සහ නීති සේවා යන අංශවලට අදාළව වැඩසටහනට සම්පත් දායකත්වය ලබා දෙනු ඇත. මෙහෙයුම් අභියෝගවලට විසඳුම් සෙවීමට, පාලන ව්‍යුහයන් ශක්තිමත් කිරීමට, තීරණ ගැනීම වැඩිදියුණු කිරීමට සහ තිරසාර වර්ධනයක් සඳහා සූදානම් වීමට ව්‍යාපාරවලට අවශ්‍ය සහය ලබා දීම මෙම ක්‍රියාවලියේ මූලික අරමුණයි.

ලංකා වාණිජ මණ්ඩලයේ ලේකම්/ප්‍රධාන විධායක නිලධාරී ශිරාන් ප්‍රනාන්දු මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය: “ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය බොහෝ දුරට රඳා පවතින්නේ තරගකාරී ව්‍යාපාර නිර්මාණය කිරීමට සහ එම ව්‍යාපාරවලට වඩාත් පුළුල් ලෙස දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළවල් වෙත ප්‍රවේශ වීමට අවස්ථාව ලබා දීම මතයි. රට පුරා බලාපොරොත්තු තබාගත හැකි ව්‍යාපාර රාශියක් තිබුණද, ඒ අතරින් බහුතරයකට දැනට පවතින තත්ත්වයෙන් ඔබ්බට යාම සඳහා මූල්‍ය පහසුකම්, මඟපෙන්වීම සහ සම්බන්ධතා ජාල අවශ්‍ය වනවා. මෙම වැඩසටහනේ අරමුණ ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමයි.

“මෙබඳු ජාතික තලයේ වැඩසටහනක් ආරම්භ කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කිරීම වෙනුවෙන් මෙන්ම ඒ සඳහා ලංකා වාණිජ මණ්ඩලයට ලබා දිය හැකි දායකත්වය හඳුනාගැනීම සම්බන්ධයෙන් අප ජනශක්ති සමූහ ව්‍යාපාරයට ස්තූතිවන්ත විය යුතුයි. BREAKTHROUGH යනු රටේ පළාත් නවය පුරාම විසිරී පවතින දියුණු කළ හැකි ව්‍යාපාර හඳුනාගෙන, මූල්‍ය පහසුකම් සහ මඟපෙන්වීම් හරහා ඒවා දියුණු කිරීමට සහය වන අතිශය විධිමත් වැඩසටහනක්. මෙම වැඩසටහන රටේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ වර්ධනයට, රැකියා උත්පාදනයට සහ වඩාත් තරගකාරී ව්‍යාපාර නිර්මාණය කිරීමට කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙනු ඇතැයි අප විශ්වාස කරනවා.”

BREAKTHROUGH හරහා ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ව්‍යවසායකයන්ට වෘත්තීය මට්ටමේ සහය සහ මඟපෙන්වීම වඩාත් පහසුවෙන් ලබාගත හැකි පරිසරයක් නිර්මාණය කිරීමට ජනශක්ති සමූහ ව්‍යාපාරය සහ ලංකා වාණිජ මණ්ඩලය බලාපොරොත්තු වෙයි. එමඟින් අනාගතයේ සාර්ථක වීමේ හැකියාව ඇති ව්‍යාපාරවලට දියුණුව කරා යමින් රටේ ආර්ථික සංවර්ධනයට පුළුල් දායකත්වයක් ලබා දීමට හැකි වනු ඇත.

BREAKTHROUGH වැඩසටහන සඳහා 2026 නොවැම්බර් 11 වැනිදා සිට 2027 ජනවාරි 20 වැනිදා දක්වා අයදුම්පත් භාරගැනේ. සුදුසුකම්, අයදුම් කිරීමේ හා තෝරාගැනීමේ ක්‍රියාවලිය සහ වැඩසටහන් කාලසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි නිල වෙබ් අඩවිය වන www.jxg.lk වෙතින් ලබා ගත හැක.
අවසන්.
 

JXG (Janashakthi සමූහ ව්‍යාපාරය) හි නිර්මාතෘ සහ ගරු සභාපති සී. ටී. ඒ. ෂාෆ්ටර් මහතා වැඩසටහනේ ආරම්භක දේශනය පවත්වමින්, නවක ව්‍යාපාරවල දියුණුව වෙනුවෙන් නව අවස්ථා නිර්මාණය කිරීම සඳහා BREAKTHROUGH වැඩසටහන සතු හැකියාව පිළිබඳව අදහස් දැක්වූ අයුරු
BREAKTHROUGH වැඩසටහන එළිදැක්වීමේ අවස්ථාවේදී තරගකාරී ව්‍යවසායක කුසලතා සංවර්ධනය කිරීමේ කාලීන වැදගත්කම පිළිබඳව අදහස් දැක්වූ ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බලේන්ද්‍ර මහතා
JXG (Janashakthi Group) හි කළමනාකාර අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ෂාෆ්ටර් මහතා, දක්ෂ ව්‍යවසායකයන්ගේ සහ ව්‍යාපාරවල දියුණුව වෙනුවෙන් BREAKTHROUGH වැඩසටහන මඟින් ඉටුවීමට නියමිත ජාතික මට්ටමේ මෙහෙවර පිළිබඳව අදහස් දක්වමින්
(වමේ සිට): ලංකා වාණිජ මණ්ඩලය වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ සහකාර මහලේකම් මනෝරි දිසානායක, ප්‍රධාන උපදේශක ආචාර්ය නිර්මාල් ද සිල්වා, මහලේකම් සහ ප්‍රධාන විධායක නිලධාරී ශිරාන් ප්‍රනාන්දු සහ සභාපති ක්‍රිෂාන් බලේන්ද්‍ර යන මහත්ම මහත්මීන්, JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි නිර්මාතෘ සහ සම්මානනීය සභාපති සී. ටී. ඒ. ෂාෆ්ටර්, කළමනාකාර අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ෂාෆ්ටර්, නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ඩිල්ෂාන් විරසේකර සහ සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ගමික ද සිල්වා යන මහත්ම මහත්මීන් සමඟ BREAKTHROUGH වැඩසටහන දියත් කිරීම සනිටුහන් කරමින් චෙක්පතක් හුවමාරු කරගත් අවස්ථාව
ප්‍රධාන සාකච්ඡා මණ්ඩපය (වමේ සිට): ලංකා වාණිජ මණ්ඩලය වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ සහකාර මහලේකම් මනෝරි දිසානායක, ප්‍රධාන උපදේශක ආචාර්ය නිර්මාල් ද සිල්වා, මහලේකම් සහ ප්‍රධාන විධායක නිලධාරී ශිරාන් ප්‍රනාන්දු සහ සභාපති ක්‍රිෂාන් බලේන්ද්‍ර යන මහත්ම මහත්මීන් සමඟ JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි නිර්මාතෘ සහ සම්මානනීය සභාපති සී. ටී. ඒ. ෂාෆ්ටර්, කළමනාකාර අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ෂාෆ්ටර්, නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ඩිල්ෂාන් විරසේකර සහ සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ගමික ද සිල්වා යන මහත්ම මහත්මීන්
MostRead
VideoStories
BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%