
සයිබර් තාක්ෂණය භාවිතයෙන් සිදු කෙරෙන වංචා මැඩලීමටත්, දේශසීමා ඉක්මවා ක්‍රියාත්මක වන අපරාධ ජාලවල මෙහෙයුම් අඩපණ කිරීමටත්, එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ සහයෝගීතාව ශක්තිමත් කරමින් සිටී.බලධාරීන්ගේ ඉල්ලීමක් මත, ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) චාලට් (Charlotte) ක්ෂේත්‍ර කාර්යාලයට අනුයුක්ත කණ්ඩායමක් නොවැම්බර් 16 සිට 22 දක්වා කොළඹට පැමිණීමට නියමිතය. මෙරට ක්‍රියාත්මක වන වංචා මධ්‍යස්ථාන සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් සමඟ එම කණ්ඩායම එක්ව කටයුතු කරනු ඇත.
දැනට ක්‍රියාත්මක විමර්ශන සඳහා සහාය වීම, විශේෂිත තාක්ෂණික දැනුම ලබා දීම සහ දේශසීමා ඉක්මවා ක්‍රියාත්මක වන වංචා ජාල හඳුනාගෙන ඒවායේ ක්‍රියාකාරකම් අඩපණ කිරීම සඳහා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ බලධාරීන්ගේ හැකියාව ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් FBIආයතනය විසින් විශේෂ කණ්ඩායමක් ස්ථාපිත කර තිබේ.
මෙම සංචාරය අතරතුර, FBI නිලධාරීන් විමර්ශන ක්‍රමවේද, ඩිජිටල් සාක්ෂි විශ්ලේෂණය (Digital Forensics) සහ නඩු විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල නිලධාරීන් සමඟ එක්ව කටයුතු කරනු ඇත. මෙම සහයෝගීතාව මඟින් අන්තර්ජාලය ඔස්සේ සිදු කරන වංචාවලට ගොදුරු වූ පුද්ගලයන් හඳුනා ගැනීමටත්, අපරාධ ක්‍රියාකාරකම්වල ගමන් මඟ සොයා ගැනීමටත්, එම වංචාවලට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව වඩාත් ශක්තිමත් නඩු ගොනු කිරීමටත් විමර්ශකයන්ට සහාය ලැබෙනු ඇත. එමෙන්ම, සයිබර් තාක්ෂණය භාවිතයෙන් සිදුකරන අපරාධ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා භූමිය ප්‍රයෝජනයට ගැනීමෙන් දේශසීමා ඉක්මවා ක්‍රියාත්මක වන අපරාධ ජාල වළක්වාලීමේ ශ්‍රී ලංකාවේ හැකියාව ද මෙම සහයෝගීතාව මඟින් ශක්තිමත් කෙරෙනු ඇත.
“විදේශ රටවල ක්‍රියාත්මක වන අපරාධ ජාල ඩොලර් බිලියන ගණනක් සොරකම් කරමින් සිටින අතර, එම අපරාධ ජාල නැවැත්වීමට අපි කැපවී සිටිමු,” යැයි ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති එරික් මයර් මහතා පැවසීය. “FBl ආයතනයේ විමර්ශන පිළිබඳ විශේෂඥ දැනුම සහ උසස් තාක්ෂණය ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ එක්ව යොදා ගැනීමෙන්, වංචාවලට ගොදුරු වූ පුද්ගලයන් හඳුනා ගැනීමටත්, අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒමටත්, තවත් ඇමරිකානුවන් සහ ශ්‍රී ලාංකිකයන් මෙම වංචාවලට ගොදුරු වීම වැළැක්වීමටත් අපට හැකි වනු ඇත.” යනුවෙන් මයර් තානාපතිතුමා තවදුරටත් පැවසීය.
මෙම සංචාරය මඟින් විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා බලධාරීන්ගේ හැකියාවන් තවදුරටත් ශක්තිමත් කිරීම සහ වංචා මධ්‍යස්ථානවල මෙහෙයුම් මැඩපැවැත්වීම අරමුණු කරගනිමින්, FBI ආයතනය ශ්‍රී ලංකා බලධාරීන් සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කිරීමේ ආරම්භය සනිටුහන් කරයි. FBI ආයතනය සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරමින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම වැඩපිළිවෙළට සහාය ලබා දෙයි.
දේශසීමා ඉක්මවා ක්‍රියාත්මක වන අපරාධ ජාලයන් ඔවුන් ක්‍රියාත්මක වන ඕනෑම ස්ථානයකදී හඹා ගොස් නීතිය හමුවට ගෙන ඒමටත්, ඇමරිකානු පුරවැසියන් මූල්‍ය සූරාකෑමෙන් ආරක්ෂා කිරීමටත්, එවැනි අපරාධ සිදුකරන්නන් නීතිය හමුවේ වගකිව යුතු බව තහවුරු කිරීම සඳහා ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක කරන හවුල්කාර ආයතන සමඟ එක්ව කටයුතු කිරීමටත්, එක්සත් ජනපදය අඛණ්ඩව කැපවී සිටී.

ඡායාරූප සිරස්තල: FBI ගොනු ඡායාරූපය: මෙම ඡායාරූපය නිදර්ශන අරමුණු සඳහා පමණක් සපයා ඇති අතර, එමඟින් FBI නිලධාරීන්ගේ ශ්‍රී ලංකා සංචාරය නිරූපණය නොවේ. 2026 වසරේදී අග්නිදිග ආසියාවේ වංචා මෙහෙයුම් මධ්‍යස්ථාන පවත්වාගෙන යන බවට සැක කෙරෙන ස්ථාන සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අත්අඩංගුවට ගත් ජංගම දුරකථන FBI නිලධාරීන් සහ තායිලන්ත රාජකීය පොලිසියේ නිලධාරීන් විසින් ප්‍රදර්ශනය කරනු ලබන අයුරු මෙම ඡායාරූපයෙන් දැක්වේ.



















