
ශ්‍රීලංකන් ගුවන් සේවයේ පුහුණු ආයතනය වන SriLankan Aviation College විසින් පසුගියදා පාසල් ශිෂ්‍යාවන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් සංවිධානය කරන ලදි. ‘Women in Aviation International – Sri Lanka Chapter’ (WAISL) සංවිධානය කළ ‘Girls in Aviation Day 2026’ වැඩසටහනට සමගාමීව පැවැත්වුණු මෙම වැඩසටහනට, ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පැමිණි පාසල් සිසුවියෝ 50 දෙනෙක් සහභාගී වූහ.
‘Girls in Aviation Day’ යනු ගුවන් සේවා සහ අභ්‍යවකාශ ක්ෂේත්‍රයන්හි පවතින අධ්‍යාපනික සහ රැකියා අවස්ථා පිළිබඳව ගැහැනු දරුවන් දැනුවත් කිරීමේ අරමුණින් වාර්ෂිකව පවත්වනු ලබන ගෝලීය වැඩසටහනකි. මෙම වැඩසටහන යටතේ මෙවර SriLankan Aviation College විසින් ශ්‍රීලංකන් සමූහය සතු දැනුම, අත්දැකීම් සහ පහසුකම් ඔස්සේ ගුවන් මෙහෙයුම්, ගුවන් යානා ඉංජිනේරු විද්‍යාව, නඩත්තු කටයුතු සහ ආරක්ෂාව ඇතුළු විවිධ අංශ සම්බන්ධයෙන් පාසල් සිසුවියන් දැනුවත් කරන ලදි.
වැඩි පිරිසකට ගුවන් සේවා ක්ෂේත්‍රයට ප්‍රවේශ වීමට අවස්ථාව ලබාදීම සඳහා ක්ෂේත්‍රයේ සමාගම්, ආයතන සහ සංවිධාන අතර මනා සහයෝගීතාවක් පැවතීම අතිශයින් වැදගත් වේ. මෙම වැඩසටහන එබඳු සහයෝගීතාවක් තුළින් අත්කරගත හැකි ප්‍රතිඵල සඳහා මනා උදාහරණයකි.
ගුවන් සේවා ක්ෂේත්‍රය පිළිබඳව ගැහැනු දරුවන් තුළ උනන්දුවක් ඇති කිරීමේ අරමුණින් WAISL විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි. මෙබඳු වැඩසටහන් ඔස්සේ දැනුම හා මඟපෙන්වීම් ලබාදෙමින් ගුවන් සේවා හා අභ්‍යවකාශ ක්ෂේත්‍රයන්හි කාන්තා නියෝජනය ඉහළ නැංවීමට එම සංවිධානය ඉමහත් කැපවීමෙන් යුතුව කටයුතු කරමින් සිටී.
මෙම වැඩසටහනට නොමිලේ පැවැත්වුණු Flight Simulator සැසියක්, හදිසි අවස්ථාවකදී ගුවන් යානයකින් ඉවත්වීම සඳහා භාවිත කරන ක්‍රමවේද පිළිබඳ පුහුණුවක් සහ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආරක්ෂක පුහුණුකරුවකු විසින් පවත්වන ලද ගිනි නිවීම පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක්ද ඇතුළත් විය. මීට අමතරව සිසුවියන්ට ගුවන් යානා නඩත්තු කටයුතු සහ තාක්ෂණික අංශවල පවතින වෘත්තීය අවස්ථා පිළිබඳ අවබෝධයක් ලබාදීම සඳහා, ඉංජිනේරු වැඩමුළු පරිශ්‍රයන්හි චාරිකාවක නිරතවීමටද අවස්ථාව ලබාදෙන ලදි.
‘Rylee’s Aero Models’ විසින් පවත්වන ලද ගුවන් යානා ආකෘති නිර්මාණ වැඩමුළුව මෙම වැඩසටහනේ තවත් කැපීපෙනෙන අංගයක් විය. විද්‍යාව, නිර්මාණශීලීත්වය සහ ප්‍රායෝගික අත්දැකීම් එක්තැන් කළ මෙම වැඩමුළුව මඟින් වායුගති විද්‍යාවේ මූලධර්ම මෙන්ම ගුවන් යානා නිර්මාණය කිරීම සහ පියාසර කිරීම සම්බන්ධ භෞතික විද්‍යාත්මක මූලධර්ම පිළිබඳව සිසුවියන්ට අවබෝධයක් ලබා දෙන ලදි. මෙහිදී සිදු කළ ක්‍රියාකාරකම් සහ අත්හදා බැලීම් ඔස්සේ ගැටලු විසඳීමේ හැකියාව, නිරවද්‍යතාව සහ විචාරශීලී චින්තන හැකියාව වැඩිදියුණු කරගැනීමට සිසුවියන්ට හැකි වූ අතර, තමන් විසින්ම නිර්මාණය කරන ලද ගුවන් යානා ගුවන්ගත වන ආකාරය දැක සතුටු වීමේ දුර්ලභ අවස්ථාවක්ද ඔවුන්ට හිමි විය.
ගුවන් නියමුවරියන් සහ ගුවන් යානා ඉංජිනේරුවරියන් ලෙස කටයුතු කිරීමේ සිට නඩත්තු කටයුතු, ආරක්ෂක කටයුතු සහ ගුවන් සේවා මෙහෙයුම් ඇතුළුව ගුවන් සේවා ක්ෂේත්‍රයේ අංශ රැසක් තුළ කාන්තාවන් සඳහා රැකියා අවස්ථා විවෘතව පවතී. මෙම වැඩසටහනේ එක් ප්‍රධානතම අරමුණක් වූයේ දැනුම, අත්දැකීම් හා ප්‍රායෝගික පුහුණුව ඔස්සේ එම අවස්ථා පිළිබඳව සිසුවියන්ට පුළුල් අවබෝධයක් ලබාදීමය. මෙය රටේ ගුවන් සේවා ක්ෂේත්‍රයේ කාන්තා නියෝජනය පුළුල් කිරීම සඳහා SriLankan Aviation College සහ WAISL එක්ව ගත් සුවිශේෂී පියවරක් ලෙස හැඳින්විය හැකි වේ.






















