header logo

Daily Exchange Rates

Nov 17, 2026
Top News
තිරසාර ආර්ථික වර්ධනයක් ගොඩනැගීම පිළිබඳ 2027 අයවැය විශේෂ සමුළුව CMA ශ්‍රී ලංකා ආයතනය සාර්ථකව පවත්වයි
තිරසාර ආර්ථික වර්ධනයක් ගොඩනැගීම පිළිබඳ 2027 අයවැය විශේෂ සමුළුව CMA ශ්‍රී ලංකා ආයතනය සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CMA Sri Lanka) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන 2027 අයවැය විශේෂ සමුළුව (Budget Highlights 2027 Forum), “ස්ථාවරත්වයෙන් ඔබ්බට: වර්ධනය සඳහා පදනම ගොඩනැගීම – ව්‍යාපාර, ආර්ථිකය සහ සමාජය කෙරෙහි ඇති බලපෑම” (Beyond Stabilization: Building for Growth – Impact on Business, Economy and Society) යන තේමාව යටතේ 2026 නොවැම්බර් 16 වන සඳුදා දින කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ ක්‍රිස්ටල් බෝල්රූම් ශාලාවේදී සාර්ථකව පවත්වන ලදී.

මෙම සමුළුව සඳහා ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයන්, බදු වෘත්තිකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, කර්මාන්ත ක්ෂේත්‍රයේ විශේෂඥයන් සහ ප්‍රකට ව්‍යාපාරික නායකයන් රැසක් සහභාගී වූ අතර, 2027 අයවැයේ ප්‍රධාන යෝජනා සහ ඒවා ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් වීම, ව්‍යාපාරික පරිසරය සහ අනාගත වර්ධන අපේක්ෂාවන් කෙරෙහි ඇති කළ හැකි බලපෑම් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කරන ලදී.

වැඩසටහන ආරම්භ වූයේ CMA ශ්‍රී ලංකා ආයතනයේ නිර්මාතෘ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් ආර්. වටවල මහතාගේ පිළිගැනීමේ කතාවෙනි. ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ගරු චතුරංග අබේසිංහ මහතා සභාව අමතා අදහස් දැක්වූ අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා ප්‍රධාන දේශනය පවත්වමින් මෙරට ආර්ථිකයේ ඉදිරි දැක්ම, ඉදිරියේදී මුහුණ දීමට සිදුවන අභියෝග සහ පවතින අවස්ථා පිළිබඳව වටිනා අදහස් හා විශ්ලේෂණ ඉදිරිපත් කළේය.

සමුළුවේ තාක්ෂණික සැසිවාර යටතේ 2027 අයවැයේ ප්‍රධාන අංශ ආවරණය කරමින් වැදගත් දේශන මාලාවක් පැවැත්විණි. රණවීර ඇසෝසියේට්ස් ආයතනයේ කළමනාකාර හවුල්කරු අතුල රණවීර මහතා විසින් යෝජිත බදු ප්‍රතිසංස්කරණ හා බදු ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දැක්වූ අතර, KPMG ආයතනයේ බදු හා නියාමන අංශයේ ප්‍රධානී සුරේෂ් පෙරේරා මහතා වක්‍ර බදුකරණය සහ එකතු කළ අගය මත බද්ද (VAT), විශේෂයෙන්ම ඒවා මිල ගණන් සහ ජීවන වියදම කෙරෙහි ඇති කරන බලපෑම පිළිබඳව විග්‍රහයක් ඉදිරිපත් කළේය.

ආර්ථික විද්‍යාඥ තලාල් රෆි මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රතිසංස්කරණ, ආර්ථික ප්‍රකෘතිමත් වීම සහ ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් සිය අදහස් ඉදිරිපත් කළේය. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා, 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36ක අපනයන ආදායම් ඉලක්කය සපුරා ගැනීම සඳහා ඉලක්කම් දෙකක වර්ධන වේගයක් අත්කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.

CMA ශ්‍රී ලංකා පිරිවැය හා කළමනාකරණ ගණකාධිකරණ ප්‍රමිති මණ්ඩලයේ (CMASB) සභාපති මහේන්ද්‍ර ජයසේකර මහතා, කාර්මික හා වාණිජ ක්ෂේත්‍රයන්හි කාර්යක්ෂමතාව, ඵලදායිතාව සහ තරගකාරීත්වය ඉහළ නැංවීම සඳහා පිරිවැය ගණකාධිකරණයේ ඇති වැදගත්කම පිළිබඳව දේශනයක් පැවැත්වීය. එසේම, ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF) සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා ඇඟලුම් කර්මාන්තයේ වර්ධනය ළඟා කර ගැනීම සහ එම ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග ජය ගැනීම පිළිබඳව අදහස් දැක්වීය.

සමුළුවේ ප්‍රධාන ආකර්ෂණයක් වූයේ විශේෂ පැනල් සාකච්ඡාව සහ ප්‍රශ්නෝත්තර සැසියයි. යුනියන් බැංකු ඔෆ් කොළඹ පීඑල්සී හි සභාපති සහ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා විසින් මෙම සාකච්ඡාව මෙහෙයවන ලදී. ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික හා වෘත්තීය නායකයන් රැසක් මෙම සාකච්ඡාවට එක්වෙමින් තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා අවශ්‍ය උපායමාර්ග, පවතින අවස්ථා සහ අභියෝග පිළිබඳව සිය අදහස් බෙදාහදා ගත්හ.

මෙම විශේෂ පැනල් සාකච්ඡාව සඳහා අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති දුඩ්ලි සිරිසේන මහතා; හේමාස් රෝහල් හා රසායනාගාර පීඑල්සී හි මූල්‍ය අධ්‍යක්ෂිකා සමන්ති කාරියවසම් මහත්මිය; බ්‍රැන්ඩික්ස් ලංකා (පුද්ගලික) සමාගමේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ හසිත ප්‍රේමරත්න මහතා; ඊස්වරන් බ්‍රදර්ස් එක්ස්පෝර්ට්ස් (පුද්ගලික) සමාගමේ සභාපති ගනේෂ් දේවනායගම් මහතා; සෑන්කන් ජෙනරේෂන් (පුද්ගලික) සමාගමේ සභාපති සහ සෑන්කන් කන්ස්ට්‍රක්ෂන් (පුද්ගලික) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු මේජර් රංජිත් ගුණතිලක මහතා; ලංකා IOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ කේ. රඝු මහතා; ශ්‍රී ලංකා හෝටල් සංගමයේ (THASL) සභාපති අසෝක හෙට්ටිගොඩ මහතා; ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) අධ්‍යක්ෂ ජනරාල් දමිත් කුමාරසිංහ මහතා; SLASSCOM ආයතනයේ සභාපති සම්පත් ජයසුන්දර මහතා සහ ඉන්දීය රාජ්‍ය බැංකුවේ (SBI) ශ්‍රී ලංකා ප්‍රධානී මෙන්ම ශ්‍රී ලංකා ඉන්දීය ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සංසදයේ භාණ්ඩාගාරික අනීතා සොන්ටුමයිරා මහත්මිය සහභාගී වූහ.

මෙම අන්තර්ක්‍රියාකාරී සාකච්ඡාව තුළින් බැංකු, නිෂ්පාදන, ඇඟලුම්, අපනයන, සංචාරක හා හෝටල්, බලශක්ති, සෞඛ්‍ය සේවා සහ තාක්ෂණය ඇතුළු ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍රයන්හි වත්මන් කාර්යසාධනය සහ අනාගත අපේක්ෂාවන් පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව සැලසිණි. එමෙන්ම, රටේ ආර්ථික තරගකාරීත්වය ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිපත්තිවල අඛණ්ඩතාව, ආයෝජන, ඵලදායිතාව, නවෝත්පාදනය සහ පෞද්ගලික අංශයේ සක්‍රීය සහභාගීත්වය අත්‍යවශ්‍ය බව ද මෙහිදී අවධාරණය කෙරිණි.

මෙම සමුළුව රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර ඵලදායී සංවාදයක් ඇති කිරීම සඳහා වැදගත් වේදිකාවක් බවට පත්විය. එමඟින් යෝජිත අයවැය ක්‍රියාමාර්ග සහ ඒවා ව්‍යාපාර, කර්මාන්ත සහ සමාජය කෙරෙහි ඇති කළ හැකි බලපෑම් පිළිබඳව වඩාත් පුළුල් අවබෝධයක් ලබා ගැනීමට සහභාගී වූවන්ට අවස්ථාව උදා විය.

වැඩසටහනේ අවසානයේදී CMA ශ්‍රී ලංකා ආයතනයේ බදුකරණ කමිටුවේ සභාපති සහ කවුන්සිල සාමාජික පී. ගජේන්ද්‍ර මහතා විසින් ස්තුති කතාව පවත්වන ලදී. අනතුරුව පැවති සුහද හමුව සහ රාත්‍රී භෝජන සංග්‍රහය තුළින් සහභාගී වූ වෘත්තිකයන්ට සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ නියෝජිතයන්ට එකිනෙකා හඳුනා ගැනීමට, අදහස් හුවමාරු කර ගැනීමට සහ සබඳතා ශක්තිමත් කර ගැනීමට අවස්ථාව සැලසිණි.

මෙවැනි වාර්ෂික වැඩසටහන් ඔස්සේ වෘත්තීය දැනුම, කර්මාන්ත ක්ෂේත්‍රයේ අත්දැකීම් සහ ප්‍රතිපත්තිමය දැක්ම එකම වේදිකාවකට එක් කරමින් ජාතික ආර්ථික සංවාදයට සක්‍රීය දායකත්වයක් ලබාදීමට CMA ශ්‍රී ලංකා ආයතනය අඛණ්ඩව කටයුතු කරයි. ඒ තුළින් දැනුවත් තීරණ ගැනීම ප්‍රවර්ධනය කිරීම, ව්‍යාපාරික තරගකාරීත්වය ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ තිරසාර ආර්ථික වර්ධනයට සහාය වීම ආයතනයේ අඛණ්ඩ අරමුණ වේ.

තවත් ඡායාරූප
more-image-0
more-image-1
more-image-2
more-image-3

MostRead

වීඩියෝපුවත්

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%