
2026 වසරේ මුල් මාස දහය තුළ කොළඹ වරායේ ප්‍රතිඅපනයන (Transshipment) බහාලුම් මෙහෙයුම් ධාරිතාව, පෙර වසරට සාපේක්ෂව සියයට 10 ක සැලකිය යුතු වර්ධනයක් වාර්තා කර ඇත.
වරාය මෙහෙයුම් දත්තයන්ට අනුව, 2026 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ සමස්ත ප්‍රතිඅපනයන කන්ටේනර් ප්‍රමාණය අඩි විස්ස ප්‍රමාණයේ බහාලුම් (TEUs) 6,406,363 ක් දක්වා ඉහළ ගොස් ඇත. 2025 වසරේ අනුරූප කාලපරිච්ඡේදය තුළ වාර්තා වූයේ TEUs 5,825,909 කි. ඒ අනුව ගතවූ මාස දහය තුළ අතිරේකව TEUs 580,454 ක ප්‍රගතියක් ලබා ගැනීමට කොළඹ වරාය සමත්ව තිබේ.
2026 ඔක්තෝබර් මාසයේ මාසික මෙහෙයුම් දත්ත මගින්ද ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කරයි. 2025 ඔක්තෝබර් මාසයේදී මෙහෙයවන ලද TEUs 620,830 ට සාපේක්ෂව, 2026 ඔක්තෝබර් මාසයේදී TEUs 680,125 ක් මෙහෙයවා ඇති අතර, එය සියයට 9.6 ක වාර්ෂික වර්ධනයකි. එය ඔක්තෝබර් මාසය තුළ පමණක් අතිරේක TEUs 59,295 ක වැඩිවීමකි.
මෙම වර්ධනයත් සමග, නාවික ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම පර්යේෂණ ආයතනයක් වන Alphaliner ආයතනය මගින් නිකුත් කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව, 2026 වසරේ මුල් අර්ධය වන විට ලොව කාර්යබහුලම කන්ටේනර් වරායයන් අතර 20 වන ස්ථානය දක්වා කොළඹ වරාය ඉදිරියට පැමිණ ඇත. 2025 වසර අවසානයේ පැවැති 26 වන ස්ථානයේ සිට ස්ථාන 6 ක් ඉදිරියට පැමිණීම මෙහිදී කැපී පෙනේ.
කොළඹ වරායේ මෙම ප්‍රගතිය සඳහා ඉන්දියන් සාගරයේ පිහිටි උපායමාර්ගික පිහිටීම, ජාත්‍යන්තර නාවික සේවා සමග පවතින සබඳතාව සහ වරාය යටිතල පහසුකම් මෙන්ම පර්යන්ත ධාරිතාව ඉහළ නැංවීම වෙනුවෙන් සිදුකරනු ලබන ආයෝජන ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. ඉදිරියටත් ක්‍රියාත්මක කෙරෙන වරාය සංවර්ධන හා නවීකරණ ව්‍යාපෘති මගින් මෙහෙයුම් කාර්යක්ෂමතාව තවදුරටත් වර්ධනය කරමින්, ගෝලීය වෙළඳ මාර්ගයන්හි ප්‍රමුඛ නාවික මධ්‍යස්ථානයක් ලෙස කොළඹ වරායේ ස්ථාපිතය තහවුරු කිරීමට අපේක්ෂිතය.



















