
HSBC සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ඉදිරිපත් කරන Ceylon Literary & Arts Festival – CLAF, ශ්‍රී ලංකාවේ සංස්කෘතික අනන්‍යතාව සහ ජාත්‍යන්තර ප්‍රතිරූපය තවදුරටත් ඔසවා තබමින් 2027 ජනවාරි 22 සිට 24 දක්වා යළිත් පැවැත්වේ
• ජාත්‍යන්තර සහ ශ්‍රී ලාංකේය සම්මානලාභී ලේඛක ලේඛිකාවන් රැසකගේ සහභාගීත්වය
• තරුණ පරපුර සඳහා නව අවස්ථා රැසක් සමඟින් පුළුල් කළ වැඩසටහන් මාලාවක්
HSBC සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් ඉදිරිපත් කරනු ලබන Ceylon Literary & Arts Festival - CLAF උළෙල 2027 ජනවාරි 22 සිට 24 දක්වා කොළඹ Cinnamon Lakeside හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. ජාත්‍යන්තර තලයේ ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා ආකර්ෂණීය බලපෑම හෙවත් 'Soft Power' ඉහළ නැංවීම සහ මෙරට නිර්මාණශීලී ප්‍රතිරූපය ගොඩනැංවීම මෙවර උළෙලේ ප්‍රධානතම ඉලක්කය වේ. දෙස් විදෙස් සාහිත්‍යධරයන්ගේ සහභාගීත්වයෙන් සංවාද සැසි 15කට අධික සංඛ්‍යාවක් ඔස්සේ කථිකයන් 30කට වැඩි පිරිසක් මෙවර එකම වේදිකාවකට එක්වෙති. Ikigai (ඉකිගායි) කෘතියෙන් ලොව පුරා ප්‍රකට වූ ෆ්‍රැන්සෙස්ක් මිරාල්ස්, ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් මැකෝල් ස්මිත්, New York Times හී වැඩියෙන්ම අලෙවි වන කෘති ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පත් කිවිඳියක වන නිකිතා ගිල්, ජාත්‍යන්තර Booker සම්මාන විනිශ්චය මණ්ඩල සාමාජිකා නිලංජනා එස්. රෝයි සහ Nebula සම්මානලාභී වජ්‍ර චන්ද්‍රසේකර යන ලේඛක ලේඛිකාවෝ මේ වන විටත් උළෙල සඳහා සිය සහභාගීත්වය තහවුරු කර සිටිති. බේරේ වැව ඉවුර අසබඩ පැවැත්වෙන බැවින් මෙම උළෙල 'Festival on Beira' යන නාමයෙන් ද හැඳින්වේ.
මෙම සංස්කෘතික ආකර්ෂණය සහ බලපෑම ප්‍රවර්ධනය කිරීම කෙරෙහි Ceylon Literary & Arts Festival - CLAF දක්වන විශේෂ අවධානය මත පදනම්ව, සාහිත්‍යය, දෘශ්‍ය කලාව, සංගීතය සහ සිනමාව ඔස්සේ මෙරට නිර්මාණශීලී සංස්කෘතිය පෝෂණය කිරීමට උළෙල කටයුතු කරයි. සිය පළමු අදියරේ සමාරම්භක සැසිය මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේදී පවත්වමින් සංකේතාත්මකව තහවුරු කළ පරිදි තරුණ ප්‍රජාව කෙරෙහි යොමු කරන අවධානය මඟින් මෙම මෙහෙවර තවදුරටත් ශක්තිමත් වේ. මෙරට තරුණ පිරිස් විදේශගත වීමේ ප්‍රවණතාවක් හෙවත් බුද්ධි ගලනයක් පැවති සමයක ආරම්භ කෙරුණු මෙම උළෙලේ එක් ප්‍රධාන අරමුණක් වූයේ එම තත්ත්වය ආපසු හැරවීමට දායක වීමයි. තරුණ පරපුර සමඟ සක්‍රීයව සම්බන්ධ වීම සිය ප්‍රධානතම පදනම ලෙස උළෙල සලකයි. උළෙලට සමගාමීව ක්‍රියාත්මක වන Future Writers වැඩසටහන මඟින් මේ වන විටත් Gratiaen ත්‍යාගලාභියෙකු බිහි කර තිබේ. Future Writers වැඩසටහන ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව සිය පළමු උත්සාහයෙන්ම Gratiaen ත්‍යාගය දිනා ගැනීමට සවින් එදිරිසිංහ සමත් විය.
Ceylon Literary & Arts Festival - CLAF හි නිර්මාතෘ අජේ වීර් සිං මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය: "ශ්‍රී ලංකාවේ 'Soft Power' හෙවත් සංස්කෘතික බලපෑම වර්ධනය කිරීම කේන්ද්‍ර කරගනිමින්, මෙරට කලා හා සංස්කෘතික ප්‍රවාහය ඉදිරියට ගෙන යන උපායමාර්ගික වේදිකාවක් ලෙස Ceylon Literary & Arts Festival ගොඩනගා තිබෙනවා. එහි සිව්වන අදියරේදී උළෙලේ ජාත්‍යන්තර ප්‍රවේශය තවදුරටත් පුළුල් කරමින්, මෙය දකුණු ආසියාවේ වැදගත්ම උළෙලක් බවට පත් කිරීමේ අපගේ අරමුණ වෙත පියවර තැබීමට අපි සැලසුම් කර තිබෙනවා. සාහිත්‍යය, කලාව, සංගීතය සහ සිනමාව ඔස්සේ කතාන්දර සහ මිනිසුන් එකිනෙක හමුවන ගමනාන්තයක් ලෙසත්, දකුණු ආසියානු සංවාද කේන්ද්‍රස්ථානයක් ලෙසත් කොළඹ නගරය ගොඩනැංවීමට අපි කටයුතු කරමින් සිටිනවා. මෙම උළෙල කොළඹ නිර්මාණශීලී නගරයක් ලෙස ලොවට හඳුන්වා දෙන අතරම ඊළඟ පරම්පරාවට නව අවස්ථාවන් සඳහා දොරටු විවර කර දෙනවා."
මෙවර සාහිත්‍ය වැඩසටහන් මාලාව මීටා කපූර් විසින් සංවිධානය කරනු ලබන අතර සාහිත්‍ය ඇකඩමි සම්මානලාභී අනුරාධා රෝයි, Forward ත්‍යාගලාභී කිවිඳිය ටිශානි දෝෂි සහ Gratiaen ත්‍යාගලාභී රම්‍යා චමලි ජිරාසිංහ යන ලේඛිකාවෝ ද මෙම සාහිත්‍ය පෙළගැස්මට ඇතුළත් වෙති. ජේම්ස් පැටර්සන් සමඟ එක්ව රචනා කළ ත්‍රාසජනක නවකතා New York Times හි වැඩියෙන්ම අලෙවි වන කෘති ලැයිස්තුවට ඇතුළත් වූ අශ්වින් සංගි මෙන්ම ලේඛිකාවක සහ සිනමාකාරිනියක වන ටානියා සෙල්වරත්නම් ද මෙවර වේදිකාවට එක්වීමට නියමිතය.
HSBC ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සර්ජනර් මහතා මෙසේ පැවසීය: "අදියර තුනක් පුරා මෙම උළෙල අද පවතින තත්ත්වය දක්වා ගොඩනැංවීමට සහාය වීමට ලැබීම පිළිබඳව අපි ආඩම්බර වෙනවා."
John Keells Foundation සමඟ එක්ව පවත්වනු ලබන චිත්‍ර හා කලා ප්‍රදර්ශනය සඳහා 'Kinesis' යන තේමාව යටතේ කලාකරුවන් 10කට අධික පිරිසක් එක්වෙති. චලනය යන්න භෞතික, සමාජයීය, සාගරික සහ සාමූහික වශයෙන් විමසා බලමින්, අපට එක්ව ඉදිරියට යා හැක්කේ කෙසේද යන්න මෙමඟින් ගවේෂණය කෙරේ. කලාකරුවන්, කලා එකමුතුවන්, සංගීතඥයන්, සිනමාකරුවන් සහ ප්‍රකාශකයන් එක්රැස් කරමින්, ප්‍රේක්ෂකයන්ට සක්‍රීයව සම්බන්ධ විය හැකි කලා නිර්මාණ රැසක් දක්වා මෙවර ප්‍රදර්ශනය පුළුල් කර ඇත.
'Story Junction' තේමාව යටතේ පැවැත්වෙන ළමා උළෙලට වයස අවුරුදු 4ත් 16ත් අතර දරුවන් වෙනුවෙන් දෙදිනක් පුරා පැවැත්වෙන විශේෂිත වැඩමුළු 15කට අධික සංඛ්‍යාවක් ඇතුළත් වේ. රූකඩ කලාව, නිර්මාණාත්මක ලේඛනය, සජීවීකරණය සහ පොත් කියවීමේ සිට සංගීතය සහ නාට්‍ය කලාව දක්වා සෑම දරුවෙකුටම ගැළපෙන සැසි මීට ඇතුළත්ය.
ප්‍රාසාංගික කලා පදනම යටතට සංගීතය, නාට්‍ය සහ සිනමාව අයත් වේ. සාහිත්‍ය සැසිවලට සමගාමීව සජීවී සංගීත ප්‍රසංග, නාට්‍ය සහ සිනමා දර්ශන අත්විඳීමේ අවස්ථාව උළෙලට සහභාගී වන්නන්ට හිමිවන අතර, ඊට අදාළ සම්පූර්ණ වැඩසටහන් පෙළගැස්ම දෙසැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කෙරේ.
තරුණ ශ්‍රී ලාංකිකයන්ට වැඩි වශයෙන් සම්බන්ධ වීමට අවස්ථා සලසමින් මෙවර උළෙලේ තරුණ වැඩසටහන් මාලාව තවදුරටත් පුළුල් කර තිබේ. තරුණ ප්‍රජාව කේන්ද්‍ර කරගත් සංවාද සැසිවලට අමතරව, ලේඛකයන්, කලාකරුවන් සහ ඔවුනොවුන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට තරුණ පිරිසට නව අවකාශයන් නිර්මාණය කෙරේ. තරුණ පරපුර පෝෂණය කිරීමට උළෙල දක්වන කැපවීමට අනුව, සියලුම සිසුන්ට නොමිලේ ප්‍රවේශපත්‍ර මඟින් උළෙලට සහභාගී විය හැකිය. මේ වන විටත් ආරම්භ කර ඇති විශේෂ ස්වේච්ඡා සේවා වැඩසටහන හරහා තරුණ සහභාගීවන්නන් 50කට අධික පිරිසකට උළෙල සැලසුම් කිරීමේ සහ ක්‍රියාත්මක කිරීමේ සමස්ත ක්‍රියාවලිය පුරා ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව සැලසී ඇත.
නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී හේමන්ත ගුණතිලක මහතා මෙසේ පැවසීය: "ප්‍රජාවන් පෝෂණය කිරීමේදී සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතික අනන්‍යතාව හැඩගැස්වීමේදී කලාව සහ සංස්කෘතිය ඉටු කරන වැදගත් කාර්යභාරය නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මැනවින් හඳුනාගෙන තිබෙනවා. කලා ක්ෂේත්‍රය සමඟ අපගේ සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කරමින්, මෙම උළෙල යථාර්ථයක් බවට පත් කිරීම සඳහා HSBC සමඟ ප්‍රධාන හවුල්කරුවෙකු ලෙස එක්වීමට ලැබීම පිළිබඳව අපි සතුටු වෙනවා."
මෙවර Ceylon Literary & Arts Festival - CLAF අදියරේදී යාපනය, මඩකලපුව, ගාල්ල සහ කොළඹ යන නගරවල පිහිටි ශ්‍රී ලංකාවේ වැදගත්ම පුස්තකාල කිහිපයක් ද ඇගයීමට ලක් කෙරේ. මෙම සෑම පුස්තකාලයක්ම වසර 75කට වඩා පැරණි වන අතර කුතුහලය, ඉගෙනීම සහ නවෝත්පාදනය සඳහා ප්‍රබල උත්ප්‍රේරක ලෙස ක්‍රියා කර ඇත.
Ceylon Literary & Arts Festival - CLAF හි අධ්‍යක්ෂිකා සහ සම-නිර්මාතෘ ෆසීනා රජබ්දීන් මහත්මිය මෙසේ අදහස් දැක්වීය: "මේ වසරේදී කලා අංශය තවදුරටත් පුළුල් වෙනවා. සාහිත්‍යය කලාව සමඟත්, සංගීතය නාට්‍ය සමඟත්, කවියන් නවකතාකරුවන් සමඟත් යනාදී වශයෙන් නිර්මාණාත්මක ක්ෂේත්‍ර එකිනෙක හමුවීම මෙහි සැබෑ අර්ථයයි. තරුණ පරපුර එම එකතුව තුළ සිටිනවා දැකීම අපේ අපේක්ෂාවයි. රටක නිර්මාණශීලී පදනම ශක්තිමත් වන්නේ එයට ඇතුළත් කර ගන්නා පරම්පරාවේ ශක්තිය මත බැවින්, සංවාද සැසිවල සිට කලාව සහ අනෙකුත් සියලුම පදනම් දක්වා උළෙලේ සෑම අංශයකටම තරුණ පිරිස ඇතුළත් කර තිබෙනවා. සිව්වන අදියරේදී තරුණ පදනම ඊට සරිලන පරිදි වර්ධනය වෙනවා."
ජනවාරි 23 සහ 24 යන දෙදින පැවැත්වෙන සාහිත්‍ය සැසි සඳහා වන පූර්ව ප්‍රවේශපත්‍ර (Early-bird passes) නොවැම්බර් 30 වන දින දක්වා www.ceylonliteraryfestival.com වෙබ් අඩවිය ඔස්සේ අලෙවි කෙරේ. සාහිත්‍ය සැසි, ළමා උළෙල සහ විශේෂ වැඩසටහන් සඳහා වන ප්‍රවේශපත්‍ර වෙබ් අඩවියෙන් මෙන්ම උළෙල පැවැත්වෙන පරිශ්‍රයේ දොරටුවෙන් ද මිලදී ගත හැකිය.
Ceylon Literary & Arts Festival - CLAF ඉදිරිපත් කරනු ලබන්නේ HSBC සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසිනි. ස්ථානීය සහ ආගන්තුක සත්කාර හවුල්කරු වන Cinnamon Lakeside Colombo, John Keells Foundation, Rukmini Tissanayagam Trust, Clouds by SOZO සහ SOZO, පොත්හල් හවුල්කරු Sarasavi සහ සංචාරක හවුල්කරු Acorn Group ඇතුළු කීර්තිමත් හවුල්කරුවන් රැසකගේ සහාය ද උළෙලට හිමිවේ. මීට අමතරව මාධ්‍ය හවුල්කරුවන් වන Wijeya Newspapers, Daily FT, Daily Mirror, Sunday Times, Hi!! Online, Hi! Magazine, Hi!, The Sun සහ මහජන සම්බන්ධතා හවුල්කරු Hardtalk වෙතින් ද උළෙලට අගනා සහයෝගයක් ලැබේ.






















