
16 Days of Activism Against Gender-Based Violence 2026 හරහා යුක්තිය වෙනුවෙන් හඬ නඟමින් වින්දිතයන් ආරක්ෂා කිරීම සඳහා Women In Need සංවිධානය, නෙදර්ලන්ත තානාපති කාර්යාලය සහ කොළඹ මහ නගර සභාව එක්වෙයි.
කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට එරෙහිව සිදුවන ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය අවසන් කිරීමේ ගෝලීය මෙහෙවරට සහය පළ කරමින්, නොවැම්බර් 25 සිට 27 දක්වා කොළඹ නගරයේ ප්‍රමුඛතම ස්ථාන දෙකක් තැඹිලි පැහැයෙන් ආලෝකමත් කිරීමට නියමිතය.
Women In Need (WIN) සංවිධානයේ මූලිකත්වයෙන් නෙදර්ලන්ත තානාපති කාර්යාලය සහ කොළඹ මහ නගර සභාව එක්ව ක්‍රියාවට නංවන මෙම වැඩසටහන යටතේ, කොළඹ මහ නගර සභා ගොඩනැගිල්ල සහ නෙළුම් කුලුන අඛණ්ඩව දින තුනක් සවස 6.00 සිට රාත්‍රී 11.00 දක්වා තැඹිලි පැහැයෙන් ආලෝකමත් කෙරේ. ‘16 Days of Activism Against Gender-Based Violence 2026’ ජාත්‍යන්තර වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරමින් මෙය සිදුකෙරෙන අතර, කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට එරෙහි ප්රචණ්ඩත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, එම ප්රචණ්ඩත්වය පිටුදැකීම සහ ප්‍රචණ්ඩත්වයට එරෙහි සාමූහික ක්‍රියාකාරීත්වය ශක්තිමත් කිරීම මෙම ජාත්‍යන්තර වැඩසටහනේ ප්‍රධානතම අරමුණු වේ.
මෙම සුවිශේෂී ස්ථාන තැඹිලි පැහැයෙන් ආලෝකමත් කිරීම තුළින් වින්දිතයන්ට සහය පළකිරීම මෙන්ම, කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට ප්‍රචණ්ඩත්වයෙන්, වෙනස්කම්වලින් සහ බියෙන් තොරව ජීවත් විය හැකි වඩාත් සුරක්ෂිත හා විවෘත සමාජයක් ගොඩනැංවීම සඳහා කොළඹ නගරයේ සාමූහික කැපවීම සංකේතවත් වනු ඇත. රාජ්‍ය ආයතන, රාජ්‍යතාන්ත්‍රික හවුල්කරුවන්, සිවිල් සංවිධාන සහ මහජනතාව එකම අරමුණක් වෙනුවෙන් එක්තැන් කරවමින්, සංකේතාත්මක ක්‍රියාවන් ඔස්සේ වගවීම, යුක්තිය සහ අර්ථවත් ක්‍රියාමාර්ග සඳහා වන සාමූහික ඉල්ලීමක් ඉදිරිපත් කිරීම මෙම වැඩසටහනේ තවත් අරමුණකි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති වීබේ ද බෝර් මහතා අවධාරණය කළේ, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මූලික කරගත් ප්රචණ්ඩත්වය වැළැක්වීම සාමූහික වගකීමක් බවයි.
“16 Days of Activism Against Gender-Based Violence 2026 වැඩසටහනේ ප්‍රධාන ඉලක්ක වන්නේ දැනුවත්භාවය ඉහළ නැංවීම, සහයෝගීත්වයන් දිරිගැන්වීම සහ කාන්තාවන්ට හා ගැහැනු දරුවන්ට එරෙහි ප්රචණ්ඩත්වය අවසන් කිරීම සඳහා ශක්තිමත් සම්බන්ධතා ජාල ගොඩනැංවීම යනාදියයි. මෙම ප්රයත්නයේදී පිරිමින්ට සහ පිරිමි දරුවන්ටද වැදගත් කාර්යභාරයක් පැවරෙනවා. අපගේ මව්වරුන්ට, සහෝදරියන්ට, බිරියන්ට සහ දියණියන්ට ප්‍රචණ්ඩත්වයට මුහුණ නොදී ජීවත් විය හැකි සමාජයක් නිර්මාණය කිරීමේ අරමුණින් අප මෙම වසරේ සුවිශේෂී වැඩසටහන් මාලාවක් සමඟ අත්වැල් බැඳගෙන සිටිනවා.” වීබේ ද බෝර් මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම වැඩසටහන සඳහා කොළඹ නගරයේ සහභාගීත්වයේ වැදගත්කම අවධාරණය කළ කොළඹ නගරාධිපතිනිය වන ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය පිටුදැකීම සහ වඩාත් සුරක්ෂිත ප්‍රජාවන් ගොඩනැංවීම සඳහා ප්‍රාදේශීය නායකත්වයට ඉටු කළ හැකි කාර්යභාරයද පෙන්වා දුන්නාය.
“කොළඹ යනු සියලු දෙනාටම අයිති නගරයක්. කාන්තාවන්ගේ සහ ගැහැනු දරුවන්ගේ ආරක්ෂාව, ගෞරවය සහ අයිතිවාසිකම් තහවුරු කිරීම අප සියලු දෙනාගේම සාමූහික වගකීමක් ලෙස අප සැලකිය යුතුයි. නගරයේ සුවිශේෂී ස්ථාන මෙලෙස තැඹිලි පැහැයෙන් ආලෝකමත් කිරීම තුළින්, අප වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින බවත්, සියලු ආකාරයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව නැගී සිටින බවත් පැහැදිලිව සන්නිවේදනය වෙනවා. කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට බියෙන් තොරව ජීවත් වීමට, රැකියාවල නිරත වීමට සහ නිදහසේ ගමන් බිමන් යාමට හැකියාව ඇති, ඔවුන්ගේ හඬට සවන් දෙන, ගරු කරන සහ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන නගරයක් ගොඩනැංවීම සඳහා අප දක්වන කැපවීම මෙම වැඩසටහන මඟින් මැනවින් පිළිබිඹු වෙනවා.” නගරාධිපතිනිය වැඩිදුරටත් කියා සිටියාය.
මෙම වැඩසටහන, සමාජයේ සියලුම තරාතිරම්වල කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට බලපාන බරපතළ ගැටලු කෙරෙහි මහජන අවධානය තවදුරටත් යොමුකරවීම සඳහා Women In Need සංවිධානයට ලැබෙන මහඟු අවස්ථාවකි. කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය වැළැක්වීම සහ ඊට මුහුණ දෙන කාන්තාවන්ට සහයෝගය ලබාදීම සඳහා කටයුතු කරන සංවිධානයක් ලෙස, යුක්තිය සහ ගෞරවය උදෙසා වින්දිතයන්ට අත්වැලක් වෙමින් ඔවුන්ට තම ජීවිත නැවත ගොඩනංවා ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම සඳහා එම සංවිධානය කැප වී සිටී.
මෙහිදී දැනුවත්භාවය ඉහළ නැංවීමෙන් පමණක් සැබෑ ප්‍රගතියක් අත්කර ගත නොහැකි බව පෙන්වා දුන් Women In Need හි විධායක අධ්‍යක්ෂිකා සාවිත්‍රි විජේසේකර මහත්මිය, අඛණ්ඩ සංවාද සහ වඩාත් ශක්තිමත් ආයතනික මැදිහත්වීම් ඔස්සේ වින්දිතයන්ට වඩාත් පුළුල් සහයෝගයක් ලබාදීමේ අවශ්‍යතාව අවධාරණය කළාය.
“ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය යනු එක් සංවිධානයකට හෝ ආයතනයකට පමණක් විසඳිය හැකි ගැටලුවක් නොවෙයි. ඒ සඳහා රජය, නීතිය ක්‍රියාත්මක කරන ආයතන, සෞඛ්‍ය සේවා වෘත්තිකයන්, ප්‍රජාවන් සහ පුද්ගලයන් ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ සාමූහික කැපවීම අවශ්‍යයි. Women In Need සංවිධානයේ ක්‍රියාකාරම් තුළදී කාන්තාවන් මුහුණ දෙන අභියෝග අප සෘජුවම අත්දකිනවා. මෙම සංවාද අඛණ්ඩව පවත්වාගෙන යාමත්, කාන්තාවන් මුහුණ දෙන ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් පවතින නිහඬතාව බිඳ දැමීමත්, සෑම වින්දිතයෙකුටම සහාය ලබාගත හැකි පසුබිමක් නිර්මාණය කිරීමත්, ඔවුන් තනි වී නොමැති බව ඔවුන්ට ඒත්තු ගැන්වීමත් ඉතා වැදගත් බව අපගේ විශ්වාසයයි. මෙම පණිවිඩය වැඩි පිරිසක් වෙත සන්නිවේදනය කිරීම සඳහා කොළඹ මහ නගර සභාව සහ නෙදර්ලන්ත තානාපති කාර්යාලය සමඟ අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්.” සාවිත්‍රි විජේසේකර මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
මෙම වැඩසටහන නොවැම්බර් 25 වැනිදා ආරම්භ වන අතර, එදින කොළඹ මහ නගර සභා පරිශ්‍රයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උත්සවයක් අතරතුර නගර සභා ගොඩනැගිල්ල තැඹිලි පැහැයෙන් ආලෝකමත් කිරීමට නියමිතය. එදිනම රාත්‍රියේ නෙලුම් කුලුනද තැඹිලි පැහැයෙන් ආලෝකමත් කෙරෙන අතර, නොවැම්බර් 27 වැනිදා දක්වා එය ක්‍රියාත්මක වනු ඇත.
මෙම වැඩසටහනේ කොටසක් ලෙස, Women In Need සංවිධානය විසින් නොවැම්බර් 30 දින 'නිහඬතාවයේ සිට යුක්තිය දක්වා: කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට එරෙහි ප්රචණ්ඩත්වය අවසන් කිරීමේදී සැමගේ කාර්යභාරය' යන තේමාව යටතේ සංවාදමය වැඩසටහනක් පැවැත්වීමටද සැලසුම් කර තිබේ. නීති හා ආරක්ෂක අංශවල නියෝජිතයන්, සෞඛ්‍ය සේවා නියෝජිතයන් සහ වින්දිතයන්ට සහයෝගය ලබාදෙන පුද්ගලයන් ඇතුළු පාර්ශ්ව රැසක් එක්වන මෙම සංවාදයේදී, ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමේදී, අත්‍යවශ්‍ය සේවාවන් ලබාගැනීමේදී සහ යුක්තිය ඉල්ලා සිටීමේදී කාන්තාවන් මුහුණ දෙන බාධක පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇත.
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව, මානව හිමිකම් සහ කාන්තාවන්ගේ හා ගැහැනු දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේදී ජාත්‍යන්තර හවුල්කාරීත්වයන්ගේ වැදගත්කම මැනැවින් පිළිබිඹු කරමින් නෙදර්ලන්ත තානාපති කාර්යාලය මෙම වැඩසටහනට සහාය ලබාදීමට ඉදිරිපත් වී සිටී. මෙම සහයෝගීතාව තුළින්, කොළඹ නගරයේ විශේෂ ස්ථාන දින තුනක් ආලෝකමත් කිරීමෙන් ඔබ්බට ගොස් ජනතාව වැඩි වැඩියෙන් දැනුවත් කිරීමටත්, මෙම ගැටලුව සඳහා උනන්දුවෙන් යුතුව මැදිහත් වීමට ඔවුන් දිරිගැන්වීමටත් අපේක්ෂා කෙරේ.
සමස්තයක් ලෙස ගත් කල, කොළඹ නගරය තැඹිලි වර්ණයෙන් ආලෝකමත් කිරීම හුදෙක් සංකේතාත්මක ප්‍රචාරණ වැඩසටහනකට සීමා නොවේ. මෙය ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය පිටුදැකීමේදී විවිධ පාර්ශ්වයන් සතු වගකීම් හඳුනාගැනීම, අපයෝජනය සම්බන්ධයෙන් පවතින නිහඬතාවන්ට අභියෝග කිරීම සහ යුක්තිය හා රැකවරණය ලබාගැනීමට වින්දිතයන්ට සහාය වීම යනාදිය සඳහා පුද්ගලයන්, ආයතන සහ ප්‍රජාවන් වෙත කෙරෙන විවෘත ආරාධනයක් ලෙස හැඳින්විය හැකි වේ.
කොළඹ නගරයේ සුවිශේෂී ස්ථාන තැඹිලි පැහැයෙන් ආලෝකමත් කිරීම මඟින් මෙම වැඩසටහන ජනතාව වෙත ඉදිරිපත් කරනුයේ එක් සුපැහැදිලි පණිවිඩයකි. එනම්, කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට එරෙහි ප්රචණ්ඩත්වය අවසන් කිරීම සඳහා නිහඬව බලා නොසිට සාමූහිකත්වය තුළින් අඛණ්ඩව කැප වන සමාජයක් අපට අවශ්‍ය බවයි.



























