අතුරු අයවැයෙන් කුඩා මෝටර් රථ මිල අඩුවෙද්දී හයිබ්‍රීඩ් මිල ඉහළට

    January, 29, 2015

    නව රජය විසින් අද ඉදිරිපත් කළ අතුරු අයවැය මගින් එන්ජින් ධාරිතාවය 1000 සී.සී වලට වඩා අඩු මෝටර් රථ වෙනුවෙන් අයකළ ආනයන බදු සියයට 15 කින් අඩුකිරීමට තීරණය කර තිබේ.

    මීට අමතරව, දෙමුහුන් මෝටර් රථ ආනයනයේදී ක්ෂ්‍යවීමේ වගුව අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේය.

    මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ පැවසුවේ ක්ෂ්‍යවීමේ වගුව ඉවත් කිරීම යනු අවුරුදු දෙකක් පැරණි හයිබ්‍රීඩ් මෝටර් රථ ආනයනය කිරීමේදී අයකරන බද්ද සියයට 10 කින් වැඩිකිරීම වැනි ක්‍රියා මාර්ගයක් බවයි.

    “මේ නිසා, දෙමුහුන් මෝටර් රථවල මිල අනිවාර්යෙන්ම වැඩි වෙනවා. මෙම යෝජනාව මෙම මෝටර් රථවල බද්ද සියයට 10 කින් පමණ වැඩිකිරීමට සමානයි.“

    යනුවෙන් ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා පැවසීය.

    මේ අතර, ඔහු සඳහන් කළේ නව බදු යෝජනා අනුව එන්ජින් ධාරිතාවය 1000 සී.සී. වලට අඩු මෝටර් රථවල මිල අඩුවන බවයි.

    මේ අතර, දේශීය වාහන එකලස් කරන සමාගම් විසින් පසුගිය කාලයේදී රජයට නිසි පරිදි බදු ගෙවා නොමැති බවත් එම සමාගම් වලින් නිසි පරිදි බදු අයකර ගැනීමට කටයුතු කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

    මීට අමතරව, මෙරටට වාහන ආනයන කරන සියළුම සමාගම් වලින් එම සමාගම් ආනයනය කරන්නේ අළුත් වාහනද පරණ වාහනද නොසලකා වාර්ෂිකව රුපියල් මිලියන 1.5 ක ගාස්තුවක් අයකරන බව නව රජයේ අතුරු අයවැයේ සඳහන්ය.