April, 27, 2026
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන BROWNS BEACH HOTELS PLC හෙට (28) සිට කොටස් වෙළෙඳපොළ ලැයිස්තුවෙන් ඉවත් වෙනු ඇත. ඒ අනුව BROWNS BEACH HOTELS PLC හි කොටස් ගනුදෙනු සිදුකෙරන අවසාන දිනය අද (27) යි.
මෙල්ස්ටාකෝප් සමූහයේ ආගන්තුක සත්කාරක හස්තය වන එයිට්කන් ස්පෙන්ස් හෝටල් සමූහයට අයත් හෝටල් සමාගමක් වන මෙය ක්‍රියාත්මක වන්නේ Sentido Heritance Negombo නමිනි.
මෙහි කොටස් ප්‍රාග්ධනයෙන් බහුතරය මෙල්ස්ටාකෝප් පීඑල්ස් (41.88%) සහ එහි අනුබද්ධිත සමාගම් වන AITKEN SPENCE HOTEL HOLDINGS PLC (36.62%), STASSEN EXPORTS (PVT) LIMITED (9.82%), LANKA MILK FOODS (CWE) LIMITED (0.97) හා MILFORD EXPORTS (CEYLON) (PVT) LIMITED (0.59) සතුව පවතී.
BROWNS BEACH HOTELS PLC, කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාවලිය මෙම වසර ආරම්භයේ දී ජනවාරි 19 දින සමාගම විසින් ප්‍රකාශයට පත් කළ අතර එහිදී කියැවුණේ, සමාගමේ අයහපත් මූල්‍ය තත්ත්වය හේතුවෙන් අදාළ පියවර ගැනීමට තීරණය කළ බවයි. පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය යන සිදුවීම් හමුවේ 2019 වසරේ සිට කර්මාන්තයට ඇති වූ බලපෑම් මත සමාගමට සිදු වූ පාඩුව ආවරණය කර ගැනීමට නොහැකි වීම මෙලෙස BROWNS BEACH HOTELS PLC කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඉවත්වීමට මූලිකවම හේතු වී තිබේ.
සමාගම කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීමේ දී සුළුපරිමාණ කොටස් හිමියන්ට එක් කොටසක් වෙනුවෙන් රු. 30 බැගින් ගෙවීමට යෝජනා වී තිබුණි.
ඒ අනුව අද (27) දිනය BROWNS BEACH HOTELS PLC හි කොටස් ගනුදෙනු සිදුකෙරෙන අවසන් දිනය වන අතර හෙට (28) දින සිට මෙම සමාගමේ කොටස් කොළඹ කොටස් වෙළෙඳපොළ පුවරුවෙන් ඉවත් කෙරෙනු ඇත.
Video Story