October, 25, 2022
2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතෙහි 42 වන වගන්තිය යටතේ සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2022.09.02 දින පැවති මුදල් මණ්ඩල රැස්වීමේ දී,
අ) අංක 42/5 ඒ, දෙවන හරස් වීදිය, නව නගරය, පොළොන්නරුව යන ස්ථානයේ ලියාපදිංචි ඇතන්ස් ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් සෙන්ටර් (ප්‍රයිවට්) ලිමිටඩ් යන සමාගම, සහ
ආ) අංක 45/5 ඒ, දෙවන හරස් වීදිය, නව නගරය, පොළොන්නරුව යන ලිපිනයෙහි පදිංචි ඇතන්ස් ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් සෙන්ටර් (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගමේ අධ්‍යක්ෂ වන හෙට්ටි ආරච්චිලාගේ සහන් අකලංක,
යන අය විසින් එකී පනතෙහි ප්‍රතිපාදනයන් උල්ලංඝනය කරමින් මුදල් ව්‍යාපාර සිදුකළ බවට සහ තැන්පතු භාරගත් බවට තීරණය කර ඇති බව මුදල් ව්‍යාපාර පනතෙහි 42 (10) වන වගන්තිය යටතේ මහජන සුභසිද්ධිය පිණිස මහජනතා වෙත ප්‍රසිද්ධ දැන්වීමක් හරහා දැනුම් දීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පියවර ගෙන ඇත.
ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ඉහතින් සඳහන් කරන ලද සමාගමට සහ පුද්ගලයාට තවදුරටත් අවබෝධතා ගිවිසුම් පත්‍රිකා නිකුත් කිරීම හරහා හෝ වෙනත් කිසිදු ආකාරයකින් තැන්පතු භාරගැනීම සහ මුදල් ව්‍යාපාර කටයුතු කරගෙන යාම සිදු නොකරන ලෙසටත් විධාන කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විටත් ඉහතින් සඳහන් කරන ලද සමාගමට සහ පුද්ගලයාට කිසිදු ආකාරයකින් තැන්පතු හෝ මුදල් ලබා ගැනීම, ණය ලබා දීම, නව ආයෝජනයන් සිදු කිරීම, වත්කම් විකිණීම හෝ පැවරීම, යම් ගිණුමකට, දේපළකට, ආයෝජනයකට අදාළව සියලු ගනුදෙනු සිදුකිරීම තහනම් කරමින් එවැනි කටයුතු ක්‍රියාත්මක කිරීමේ නියෝග නිකුත් කර ඇත.
Video Story