අනාගත ඉංජිනේරුවන්ට ශක්තියක් වූ ලංවා ශක්තිය

    October, 20, 2016

    රුහුණ විශ්වවිද්‍යාලයේ සිවිල් හා පරිසර ඉංජිනේරු පීඨය වාර්ෂිකව සංවිධානය කරන ස්පැගටි පාලම් තරගාවලිය ලංවා සංස්ථා වානේ අනුග්‍රහයෙන් මෙවරත් උත්කර්ෂවත්ව පැවැත්විණ.

    මෙම තරගාවලියට සිවිල් හා පරිසර ඉන්ජිනේරු පීඨයේ පළමු වසරේ සිසුන් මෙන්ම පාසල් නියෝජනය කරමින් කණ්ඩායම් කිහිපයක් ද සහභාගී විය.

    භෞතික විද්‍යාවේ නියමයන් ට අනුව සීමිත සම්පත් භාවිත කරමින් වැඩි බරක් ඉසිලිය හැකි පාලම් ආකෘතියක් නිර්මාණය කිරීම මෙහිදී සිසුන් ඉදිරියේ ඇති අභියෝගයයි. මෙම අභියෝගය ජයගැනීම සඳහා ඔවුන් ට ලබාදෙන්නේ ස්පැගටි ග්‍රෑම් 600 ක් හා ගම් පමණයි. මෙම අමුද්‍රව්‍ය භාවිතයෙන් කිලෝ 26 ක බරක් ඉසිලිය හැකි හා ප්‍රශස්ථ සමබරතාවක් සහිත පාලමක් ඉදිකරමින් ජයග්‍රහණය හිමිකරගැනීමට රුහුණු විශ්වවිද්‍යාලයේ සිවිල් හා පරිසර ඉංජිනේරු පීඨයේ “Mighty Ruhuna”කණ්ඩායම සමත් විය. පාසල් අංශයේ ජය හිමිකරගත්තේ ගාල්ල සංඝමිත්තා විද්‍යාලයයි.

    රුහුණ විශ්වවිද්‍යාලයේ සිවිල් හා පරිසර ඉන්ජිනේරු පීඨයේ මෙම ස්පැගටි පාලම් තරගාවලියට සෑම වසරකම අනුග්‍රහය දක්වන්නේ ලංවා සංස්ථා වානේ ආයතනයයි. තරගාවලියේ ජයග්‍රාහකයින්ට සහතික හා වටිනා ත්‍යාග එම ආයතනය මගින් පිරිනමනු ලබයි.

    රුහුණ විශ්වවිද්‍යාලයේ සිවිල් හා පරිසර ඉංජිනේරු පීඨයේ සිසුන් 10 දෙනෙක් සඳහා ලංවා අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමද මීට සමගාමීව සිදුකෙරිණ. මෙම ශිෂ්‍යත්ව වැඩසටහන 2014 සිට ක්‍රියාත්මක අඛන්ඩව ක්‍රියාත්මකයි. ලංවා සංස්ථා වානේ ආයතනයේ සභාපති නන්දන ලොකුවිතාන මහතාගේ මගපෙන්වීමෙන් එම ආයතනය මෙරට සිවිල් ඉන්ජිනේරු ශිල්පය හදාරන විද්‍යාර්ථයින් ගේ සුභසාධනය උදෙසා වැඩසටහන් ගනනාවක් ක්‍රියාවට නංවා තිබේ.

    ස්පැගටි පාලම් තරගාවලියේ ජයග්‍රාහකයින්ට ත්‍යාග ප්‍රධානය හා ලංවා ශිෂ්‍යත්ව ප්‍රධානය ගාල්ලේ පිහිටි රුහුණ විශ්වවිද්‍යාලයේ සිවිල් හා පරිසර ඉංජිනේරු පීඨ ශ්‍රවනාගාරයේ දී සිදුකෙරිණ. පීඨාධිපති ආචාර්ය චන්දන පෙරේරා, ආචාර්ය චමින්ද තුෂාර, ලංවා වානේ සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් වන නිමල් යාපා සහ අජිත් රත්නසිරි යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ස්පැගටි පාලම් අන්තර් විශ්වව්ද්‍යාලීය තරගාවලිය පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුන අතර එහිදී පළමු හා දෙවන ස්ථාන දෙකම දිනාගැනීමට සමත් වුනේ රුහුණ විශ්වවිද්‍යාලයේ සිවිල් හා පරිසර ඉංජිනේරු පීඨයයි. පළමු ස්ථානය දිනාගත් ස්පැගටි පාලමට කිලෝ 44.5 ක් ඉසීලීමට සමත් වුනා.