අප්‍රේල් මාසයේ සංචාරක පැමිණීම ලක්ෂය ඉක්මවයි

    April, 27, 2026

    2026 අප්‍රේල් මාසයේ දී දිවයිනට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.

    මේ අතර සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වන්නේ 2026 අප්‍රේල් මාසයේ මුල් දින 22 තුළ දී 99,777ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි. එයින් 29%ක්ම ඉන්දියානු සංචාරකයින් වන අතර එම ප්‍රමාණය 29,192ක් ලෙසින් වාර්තා වී ඇත.

    මැදපෙරදිග යුද අර්බුදයත් සමඟ ගෝලීය සංචාරක කර්මාන්තය පසුගිය මාර්තු මාසයේ ආරම්භයේ සිට මන්දගාමී වූ අතර එහි බලපෑම ශ්‍රී ලංකාවට ද මේ වන විට දැඩිව එල්ල වෙමින් තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙසින් දෛනික සංචාරක පැමිණීමේ සාමාන්‍ය 2026 අප්‍රේල් මාසය තුළ දී 4,535ක් දක්වා පහළ බැස ඇත. මෙම අගය 2026 ජනවාරි - 8,946ක්, පෙබරවාරි - 9,976ක් සහ මාර්තු - 5,934ක් ලෙසින් වාර්තා වී තිබුණි. ඒ අනුව 2026 ජනවාරි මාසය හා සැසඳීමේ දී 2026 අප්‍රේල් මාසයේ දී දෛනික සංචාරක පැමිණීම 50%කින් පහළ ගොස් ඇත.

    2026 අප්‍රේල් 13 දින මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 3,408ක් ලෙසින් වාර්තා වන අතර එය 2026 වසරේ මේ දක්වා තනි දිනක් තුළට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අඩුව සංචාරකයින් සංඛ්‍යාව වේ.