අපි චීනයට පලා බෙදද්දී චීන ජනපති පාකිස්තානයට සුපිරි අධිවේගී මාර්ග ව්‍යාපෘතියක් ගෙනෙයි

    April, 21, 2015

    පසුගිය රජය සමයේ මෙරට අධිවේගී මාර්ග අතුළු යටිතල පහසුකම් ගොඩනැගීමේ ප්‍රමුඛයාව සිටි චීනය ඩොලර් බිලියන 46 ක ආයෝජනයකින් පාකිස්තානය සහ චීනය යාකරන දැවැන්ත අධිවේගී මාර්ග සහ යටිතල පහසුකම් ව්‍යාපෘතියක් සිදුකිරීමට ගිවිසගෙන තිබේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ චීන ජනාධිපති සි ජින්පින්ග් මහතා මෙම ව්‍යාපෘතියට අදාළ ගිවිසුමට අත්සන් කළ බවයි.

    මෙම දැවැන්ත ආයෝජනය මගින් චීන-පාකිස්තාන ආර්ථික කොරිඩෝව නැමති යටිතල පහසුකම් ජාලය ගොඩනැගීමට නියමිත අතර එයට අධිවේගී මාර්ග සහ දුම්රිය මාර්ග ජාලයක් ඇතුළත් බව සඳහන්ය. මෙම මාර්ග ජාලය පාකිස්තානයේ Gwadar සිට චීනයේ බටහිර Xinjiang කළාපය දක්වා කිලෝ මීටර් 3000 ක පමණ දුරක් දිවෙනු ඇතැයි වාර්තාවේ.

    මෙම ව්‍යාපෘතිය මගින් චීනයට ඉන්දියානු සාගර කළාපයට සෘජු ප්‍රවේශයක් ලැබෙනු ඇති බවත් මධ්‍යම සහ දකුණු ආසියානු කළාපය කෙරෙහි චීනයේ බලපෑම මේ තුළින් දැඩිවනු ඇති බවත් ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කර තිබේ.

    චීනය විසින් සිදුකිරීමට නියමිත ඩොලර් බිලියන 46 ක මෙම දැවැන්ත ආයෝජනය 2008 වසරේ සිට පාකිස්තානයට ලැබුණු සමස්ත සෘජු විදේශීය ආයෝජන ප්‍රමාණයට වඩා තුන් ගුණයකින් පමණ වැඩිබව වැඩිදුරටත් වාර්තා වේ.

    චීනය විසින් ලංකාවේ සිදුකරන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඇතුළු යටිතල පහසුකම් ව්‍යාපෘති නැවතත් ඇගයීමට නව රජය කටයුතු කර තිබෙන අතර මේ වනවිට ලංකාව කෙරෙහි චීන ආයෝජකයින් තුළ තිබෙන විශ්වාසය බිඳ වැටී ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කරයි.