අයවැයෙන්වත් ජනාධිපතිතුමා ජනතාවට සහන දෙයි කියලා අපි විශ්වාස කරනවා – නාමල්

    October, 25, 2023

    ඉදිරියේ දී එන අයවැයේ දී හෝ ජනාධිපතිවරයා ජනතාවට සහන දෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

    මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා,

    එක පැත්තකින් විදුලිබිල වැඩිවෙනවා, බදු බර වැඩිවෙනවා. ඒ වගේම වතුර බිල වැඩිකරනවා. තව අලුතෙන් බදු ගහන්න ඕනේ කියලාත් කියනවා. ජීවන වියදම පාලනය කරන්න කටයුතු කරන්නේ නැහැ. මේ චෝදනාව පොහොට්ටුවේ ආණ්ඩුවට ඉදිරිපත් කරනවා. ඔය කියන හැමෝම. චෝදනා එන්නේ පොහොට්ටුවට. හැබැයි අනිත් පැත්තෙන් සහෝදර පක්ෂ එක්ක සාකච්ඡා නොකර තීන්දු තීරණ ගන්නවා. ඒ ගන්න කොට ඒක හරි ගියොත් ඒක වෙන කණ්ඩායමක්. ඒක වැරදුණොත් ඒක පොහොට්ටුවේ. මේ වෙලාවේ, මේක කැබිනට් සංශෝධනයක් විදියට මම දකින්නේ නැහැ. මේක කැබිනට් හුවමාරුවක්. ඇතුලේ තනතුරු හුවමාරුවක් කර ගැනීම සිද්ධ වුණේ. ඒක ජනාධිපතිවරයාට කරන්න අයිතියක් තියෙනවා, එතුමා ජනාධිපතිවරයා විදියට. ඒ වගේම තමයි, ආණ්ඩුවට යුතුකමක් තියෙනවා, ඒ පිළිබඳව සහෝදර පක්ෂ එක්ක විමසන්න. මම හිතන්නේ ඉදිරියේදීවත් අතිගරු ජනාධිපතිතුමක් ආණ්ඩවේ වගකිව යුතු පිරිස, මේ තනතුරු හුවමාරු කර ගැනීමෙන් මේ රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා හිතනවානං, තනතුරු හුවමාරු කරගැනීමෙන් මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු විසඳන්න පුළුවන් කියලා හිතනවා නං, තනතුරක් හුවමාරු කරගැනීම තුළින් මේ රටේ ජනතාව මුහුණපාලා තියෙන ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන් කියලා හිතනවා නං, ඒ අයට වැරදිලා. මේ වෙලාවේ අයවැයක් එනවා ඉදිරි කාලසීමාව තුළ. අයවැයේදීවත් අපි විශ්වාස කරනවා ජනාධිපතිතුමා මේ රටේ ජනතාවට සහන දෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරයි කියලා.