අලියාන්ස් ලංකා විසින් 2021 වසර සඳහා වන පළමු තිරසාර වැඩසටහන ක්‍රියත්මක කරනු ලබයි

    May, 24, 2021

    ග්‍රාමීය පාසලක සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපාතියක් ක්‍රියාවට නංවයි

    ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් වර්ධනය වන රක්ෂණ සේවා සපයන්නෙකු වන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් (අලියාන්ස් ලංකා) ග්‍රාමීය දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් මෙන්ම ජීවන තත්වයන් නගා සිටුවීම වෙනුවෙන් වරාවැව ග්‍රාමිය පාසලේ සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතියක් පසුගියදා ආරම්භ කරන ලදී. 2021 වසර සඳහා වන අලියාන්ස් ලංකාහි පළමු තිරසාරත්ව වැඩසටහන වන මෙය අනාගතයේදී මුහුණ දීමට සිදුවන දේශගුණික අභියෝගයන්ට අදාළ විසඳුම් දිරි ගැන්වීමේ අලියාන්ස් සමූහයේ දේශගුණික විපර්යාස හා කාබන්හරණය පිළිබඳ උපාය මාර්ගයන්ට අනුව සිදු කරනු ලබයි.

    අලියාන්ස් ලංකා හි අලෙවි කළමනාකරණ කණ්ඩායම විසින් පාසල් රැසක් අතුරින් සූර්ය පැනල ස්ථාපනය කිරීමේ අවශ්‍යතාව සහිත වඩාත් සුදුසුම පාසල ලෙස වරාවැව උතුරු මැද / මහව ගිරිබාව හෙට්ටිආරච්චිගම ප්‍රාථමික විද්‍යාලය තෝරා ගනු ලැබීය. ඒ අනුව අදාළ සූර්ය පැනල එම පාසලෙහි සවි කිරීමට අලියාන්ස් ලංකා කටයුතු කළ අතර ඒ තුළින් පාසලට අවශ්‍ය සම්පූර්ණ විදුලි ධාරිතාව සැපිරීමට කිලෝ වොට් 3ක (සූර්ය පැනල 7ක ඒකකයක්) ධාරිතාවයකින් යුත් සූර්ය පැනල පද්ධතියක් ස්ථාපනය කර ඇත. පාසලට අවශ්‍ය සූර්ය පැනල පද්ධතියක් සවි කිරීමෙන් නොනැවතී පාසලේ මෙන්ම සිසු දරු දැරියන්ගේ අවශ්‍යතා වෙනුවෙන් අත්‍යවශ්‍ය උපකරණ හා ලිපි ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමටද අලියාන්ස් ලංකා පියවර ගනු ලැබීය. අලියාන්ස්හි මෙම තිරසාරත්ව වැඩසටහන තුළින් 1 සිට 5 ශ්‍රේණිය දක්වා එම පාසලේ ඉගෙනුම ලබන ගොවි පවුල්වල දරුවන් මෙන්ම ගුරු මහත්ම මහත්මීන් 5 දෙනෙකුද ප්‍රතිලාභ හිමි කර ගනු ඇත.

    අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී ගානි සුබ්‍රමනියම් මහතා විසින් මෙම සූර්ය පැනල පාසල වෙත පරිත්‍යාග කිරීම සිදු කරනු ලැබූ අතර මෙම අවස්ථාව සඳහා අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා හි ප්‍රධාන අලෙවි නිළධාරී මංගල බණ්ඩාර, අලෙවි කළමනාකරණ අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී සමන්ත ගුණවර්ධන මහතා ඇතුළු අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකාහි නියෝජිතයන් කිහිප දෙනෙක් එක්ව සිටියහ.

    මේ පිළිබඳව අදහස් දැක්වූ අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී ගානි සුබ්‍රමනියම් මහතා සඳහන් කර සිටියේ අලියාන්ස් ලෙස අප සෑම විටම තිරසාරභාවය අරමුණු කොට ගත් ආයතනයක් ලෙස ලෝකය වඩාත් සුවපහසු ස්ථානයක් බවට පත් කිරීම කෙරෙහි නිරන්තරයෙන් අවධානය යොමු කර තිබෙනවා. සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත සංවර්ධනය වෙනුවෙන් දේශීයව සිදු කරන පළමු තිරසාරත්ව වැඩසටහන ලෙස මෙය හඳුන්වා දිය හැකියි. විශේෂයෙන් ඉදිරියේදී ඇති විය හැකි දේශගුණික විපර්යාසයන් අවම කිරීම සඳහා වන ගෝලීය ක්‍රියාවලිය සවිමත් කිරීම මෙන්ම සමානාත්මතාවයෙන් යුත් සමාජයක් බිහි කිරීම අප සියලු දෙනා එක්ට එක්වීම තුළින් සිදු කළ හැකි යැයි අප විශ්වාස කරනවා. අපගේ ආයතනික අරමුණු අනුව කටයුතු කරමින් ගනුදෙනුකරුවන්ගේ පමණක් නොව මුළු මහත් සමාජයේම අනාගත තිරසාර බව තහවුරු කිරීම වෙනුවෙන් අප කැපවී කටයුතු කරනවා. යනුවෙනි.

    ලොව පුරා වඩා විශ්වසනීය මූල්‍ය සේවා සපයන්නකු මෙන්ම ගෝලීය තිරසාරත්ව නායකයකු ලෙස කටයුතු කරන අලියාන්ස් සමූහය ශක්තිමත් ආයතනික පරිපාලනය, සමාජ වගකීම් සහ පාරිසරික සුරක්ෂිතතාවය වෙනුවෙන් අඛණ්ඩව කැපවෙමින් තිරසාර ආර්ථික වටිනාකමක් නිර්මාණය වෙනුවෙන් කැප වී කටයුතු කරනු ලබයි.

     

    ඡායාරූප විස්තරය - වරාවැව ව/මහව/ ගිරිබාව හෙට්ටිආරච්චිගම ප්‍රාථමික විද්‍යාලයේ ගුරු මහත්ම මහත්මීන් හා සිසු දරු දැරියන්. අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී ගානි සුබ්‍රමනියම්, අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකාහි ප්‍රධාන අලෙවි නිළධාරී මංගල බණ්ඩාර, අලෙවි කළමනාකරණ අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී සමන්ත ගුණවර්ධන මහතා සහ වෙළෙඳපොල කළමනාකරණ/ තිරසාරත්ව තානාපති රියන්සි ද සිල්වා යන මහත්වරුන්ද ඡායාරූපයේ වේ.