ආදායම් බදු ගෙවන්න දුන් චෙක් 3,000 ක් රිටන් වෙලා

    April, 30, 2024

    ආදායම් බදු ගෙවීම් චෙක්පත් මගින් සිදුකිරීම නවතා ඇති බවත් එලෙස චෙක්පත් හරහා ආදායම් බදු ගෙවීමේ දී විශාල චෙක්පත් ප්‍රමාණයක් අගරු වී ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 2023 වසරේ දී එලෙස ආදායම් බදු ගෙවීම් ලද චෙක්පත් 3,274 ක් අගරු වී ඇති බවත්, ඒ හරහා රු. බිලියන 1,948 ක මුදලක් ලැබීමට නියමිතව තිබූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේය. මේ අනුව චෙක්පත් මාර්ගයෙන් ආදායම් බදු ගෙවීම ගැසට් පත්‍රයක් හරහා නවතා ඇති බව ඔහු මෙහිදී පැවසීය.

    අද දෙරණ 24 ‘Big Focus‘ සජීවී වැඩසටහන සමඟ එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කර සිටියේය.

    “සාමාන්‍ය ක්‍රමයක් තිබුණා, සමහර අය ආදායම් බදු ගෙවද්දී චෙක් එකක් ගෙවනවා. අපි චෙක් එක භාර ගන්නවා. හැබැයි මේ චෙක් එක අගරු වෙනවා. අගරු වුණාම අපිට ලොකු ක්‍රියාවලියකට යන්න වෙනවා මේක අය කර ගන්න. උදාහරණයක් ගත්තොත් 2023 දෙසැම්බර් 31 වෙන කොට චෙක්පත් තියෙනවා අපි ලඟ 3,174 ක් අගරු වෙච්චා. රු. බිලියන 1,948 ක් ඒවායින් අපිට එන්න ඕනේ. ඒකට වෙනම කණ්ඩායමක් ඕන වෙනවා ඒ ටික අය කර ගන්න. දැන් මේ වර්ෂයේ මුල් මාස 03 බැලුවොත් චෙක්පත් 152 ක් අගරු වෙලා, ආදායම් බදු ගෙවපු අය මිලියන 189 ක් අපිට එන්න තියෙනවා.ඒ නිසා අපි නීතියක් ගෙනාවා, කරුණාකරලා චෙක්පත්වලින් ගෙවීම අපි ගන්නේ නැහැ මීට පස්සේ.  වෙනත් ක්‍රමවලින් පුළුවන්. ඔවුන්ට බැංකු අණකරයකින් පුළුවන්, මුදලින් පුළුවන්. මාර්ගගත ක්‍රමයට පුළුවන්. හැබැයි ආදායම් බදු පමණක් චෙක්පත්වලින් ගැනීම ගැසට් එකකින් අපි නැවැත්වූවා.“