January, 24, 2023
ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව, වර්ෂයකදී සාමාන්‍යෙයන් බලපත්‍ර 17,000ක් පමණ නිකුත් කරනු ලබන අතර එම ක්‍රියාවලිය අවම තාක්ෂණ මැදිහත් වීමක් සහ ඉතා ඉහළ මානව මැදිහත් වීමක් මත සිදු කෙරේ. එම බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව හා අවම මානව මැදිහත් වීමක් සහිතව ක්‍රියාත්මක කිරීම පිණිස තොරතුරු තාක්ෂණ ක්‍රමවේද හඳුන්වා දීමේ අවශ්‍යතාව පෙනී ගොස් තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වැනි එකී බලපත්‍ර සම්බන්ධ ක්‍රියාවලියට අදාළ වන නියාමන ආයතන සහභාගී කර ගනිමින් එම ක්‍රියාවලිය ස්වයංක්‍රීයකරණය කිරීම මඟින් විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සැලසුම් කර ඇත.
ඒ සඳහා, ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන අපනයන පාලන හා ආශ්‍රිත දේශසීමා ආරක්ෂක කාර්යාංශය (EXBS වැඩසටහන) විසින් පරිත්‍යාගයක් වශයෙන් ඇරමරිකානු ඩොලර් 280,000ක් වටිනා STRATLINK තොරතුරු තාක්ෂණ වැඩසටහන සම්පූර්ණ මූල කේතය ද සමඟ ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට එකඟතාව පළ කර ඇත.
ඒ අනුව, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ "e-බලපත්‍ර" වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
Video Story