ආර්ථික සහයෝගීතාව සහ අයෝජන ඉලක්ක කර ගනිමින් ජනපති සහ දකුණු අප්‍රිකානු ජනපති අතර හමුවක්

    November, 17, 2022

    දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (16) පස්වරුවේ කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි.

    ඉන්දුනිසියාවේ පැවතී ජී20 සමුළුවට සහභාගී වී නැවත සිය රට බලා යන අතරතුරදී කෙටි සංචාරයක් සඳහා දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා මෙරටට පැමිණ තිබේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ඉතා සුහදශීලිව පිළිගත් අතර සුහද කතා බහකින් අනතුරුව නායක දෙපළ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වුහ.

    ආර්ථික සහයෝගීතාව සහ අයෝජනය ඉලක්ක කර ගනිමින් දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.

    ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමට දකුණු අප්‍රිකාවේ සහාය ලබා ගැනීම පිළිබඳව ද සාකච්ඡා විය.

    ප්‍රජාවන් අතර කල්පවත්නා සංහිඳියාවක් ඇති කර ගැනීම වෙනුවෙන් විශ්වසනීය සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් පිහිටුවිම සඳහා දකුණු අප්‍රිකානු සහාය, මඟපෙන්වීම සහ උපදේශනය ලබා ගැනීම කෙරෙහි ද අවධානය යොමු විය.

    හමුව සනිටුහන් කරමින් නායක දෙපළ අතර සමරු තිළිණ හුවමාරු කර ගැනීම ද සිදු කෙරිණි.

    විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රී, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ඇතුළු දෙරටේ නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Video Story

    Stock Market

    Exchange Rates