ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක ණයක්

    March, 18, 2024

    ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයන්ට (SMEs) මූල්‍ය පහසුකම් සඳහා වැඩි ප්‍රවේශයක් ලබා දීමේ අරමුණින් ඩොලර් මිලියන 100 ක ණයක් අනුමත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) පියවර ගෙන තිබේ. මීට අමතරව කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායන්, ආර්ථික අර්බුද සහ දේශගුණික විපර්යාස වැනි බාහිර කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සඳහා මෙම මූල්‍යාධාරය මගින් සහාය සැලසෙනු ඇත.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආසියානු සංවර්ධන බැංකුවේ ජ්‍යෙෂ්ඨ මූල්‍ය අංශ විශේෂඥ මනෝහාරි ගුණවර්ධන මෙසේ කියා සිටියාය. “ශ්‍රී ලංකා ආර්ථිකයේ තීරණාත්මක භූමිකාවක් සුළූ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් විසින් ඉටුකරනවා. රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 52% ක් ඔවුන් හරහා ලැබෙන අතර ජනගහනයෙන් 45% ක් ඒවායේ සේවය කරනවා. එබැවින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට, විශේෂයෙන් කාන්තාවන් විසින් මෙහෙයවන ව්‍යවසායන්ට, ආර්ථිකයට අංශයේ දායකත්වය පවත්වා ගැනීමට සහ වර්ධනය කිරීමට අවශ්‍ය සහාය ලබා දීම වැදගත්. මෙම ව්‍යාපෘතිය මඟින් කාරක ප්‍රාග්ධන පහසුකම් ලබා දෙන අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මූල්‍ය ප්‍රවේශය වැඩිදියුණු කරනු ලබනවා.“