ආසියාවේ හොඳම ඒකාබද්ධ වාර්තාවට හිමි ගෞරවනීය සම්මානයෙන් කොමර්ෂල් බැංකුව පිදුම් ලබයි

    February, 18, 2016

    කොමර්ෂල් බැංකුවට තවත් ජාත්‍යන්තර තලයේ සම්මානයක් හිමිකර දෙමින් බැංකුවේ 2014 වාර්ෂික වාර්තාව සිංගප්පූරුවේ පසුගියදා පැවති ආසියානු තිරසාරාත්මක වාර්තාකරණ සම්මාන ප්‍රදානෝත්සවයේදී (Asia Sustainability Reporting Awards) ආසියාවේ හොඳම ඒකාබද්ධ වාර්තාවට හිමි සම්මානය දිනාගැනීමට සමත් විය.

    මෙම ගෞරවනීය සම්මාන ප්‍රදානෝත්සවයේදී බුහුමනට පාත්‍රවූ එකම ශ්‍රී ලාංකේය සමාගම ලෙසින් මෙහිදී කොමර්ෂල් කැපී පෙනුණි. මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී අංශ 14 ක් වෙනුවෙන් සමාගම් සඳහා සම්මාන ප්‍රදානය කළ අතර සෑම අංශයක් වෙනුවෙන්ම එක් ජයග්‍රාහී සමාගමක් නම්කරන ලදී.

    සිංගප්පූරුවේ පිහිටි ප්‍රමුඛතම තිරසාරාත්මක උපදේශන, සමීක්ෂණ සහ පුහුණු සමාගමක් වන CSR Works International විසින් සංවිධානය කළ මෙම සම්මාන ප්‍රදානෝත්සවය සඳහා හොංකොං, චීනය, ජපානය, ඉන්දියාව, තායිවානය, මැලේසියාව, ශ්‍රී ලංකාව, මැදපෙරදිග, ඉන්දුනීසියාව, සිංගප්පූරුව සහ පිලිපීනය යන රටවල් නියෝජනය කරන සමාගම් 180 ක් පමණ අයදුම්පත් යොමුකර තිබුණි. මෙම සමාගම් මෙම රටවල මෙන්ම ආසියාවේ කීර්තිමත්ම සමාගම් වීම කැපීපෙනන කාරණයක් වන අතර සම්මාන ප්‍රදානෝත්සවයේ අවසාන අදියර සඳහා මැලේසියාවේ Maybank, ඉන්දියාවේ YES Bank, හොංකොං හි Airport Authority, තායිවානයේ Chungawa Telecom වැනි දැවැන්ත සමාගම් ඇතුළත් විය.

    මෙම කීර්තිමත් සම්මාන ප්‍රදානෝත්සවයේදී ආසියාවේ හොඳම ඒකාබද්ධ වාර්තාවට හිමි සම්මානය දිනාගැනීමට අමතරව කොමර්ෂල් බැංකුවේ වාර්ෂික වාර්තාව ආසියාවේ හොඳම සේවා ස්ථාන වාර්තාකරණය, ආසියාවේ හොඳම ප්‍රජා වාර්තාකරණය, ආසියාවේ හොඳම පාර්ශවකාර වාර්තාකරණය සහ ආසියාවේ හොඳම ආයතනික සමාජ වගකීම් සන්නිවේදනය යන අංශවල අවසාන අදියරයන් දක්වා පැමිණීමටද සමත්විය.

    “තිරසාරභාවය අතින් ආසියාවේ නායකයෙකු ලෙස අපව ඇගයීමට ලක් කිරීම පිළිබඳව අපි අතිශය සතුටට පත් වෙනවා“, යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී, ජෙගන් දුරෙයිරත්නම් මහතා පැවසීය. “තිරසාරභාවයට දායකත්වය දක්වමින් සියළුම අංශ පිළිබඳව පුළුල්ව වාර්තා කිරීම සංකීර්ණ මෙන්ම බොහෝ කාලය ගතවන දෙයක්. කෙසේවෙතත් එය අපගේ පාර්ශවකරුවන්ට ඉතාමත් වැදගත් වෙනවා. ආසියාවේ හොඳම ඒකාබද්ධ වාර්තාවට හිමි සම්මානයෙන් අපගේ වාර්ෂික වාර්තාව පිදුම් ලැබීම එය සකස් කිරීමට සම්බන්ධ වූ කණ්ඩායමට හිමිවූ අද්විතීය තිළිණයක් ලෙස සඳහන් කළ හැකියි“.

    කොමර්ෂල් බැංකුව වෙනුවෙන් මෙම සම්මානය සිංගප්පූරුවේ පිහිටි බි්‍රතාන්‍යය මහ කොමසාරිස් කාර්යාලයේ ගිනිකොන දිග ආසියානු ‘ක්ලයිමට් චේන්ජ් ඇන්ඩ් එනර්ජි නෙට්වර්ක්‘ හි අධ්‍යක්ෂ ඩේවිඩ් වින්සන්ට් මහතා විසින් පසුගිය ජනවාරි 28 වනදා සිංගප්පූරුවේ බි්‍රතාන්‍යය මහකොමසාරිස්වරයාගේ නිල නිවසේ ඊඩ්න් ශාලාවේ පැවති විචිත්‍රවත් සම්මාන ප්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවේ මූල්‍ය අංශයේ ප්‍රධානී, එම්.පී. ධර්මසිරි මහතා වෙත ප්‍රදානය කරන ලදී.

    ‘Combanking‘ යන තේමාවෙන් නිකුත් කෙරුණු කොමර්ෂල් බැංකුවේ සම්මානලාභී 2014 වාර්ෂික වාර්තාව පිටු 432 කින් යුක්ත වේ. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය විසින් අති උත්කර්ශවත් අයුරින් සංවිධානය කළ 2015 වාර්ෂික වාර්තා සම්මාන ප්‍රදානයේදී බැංකු අංශයේ හොඳම වාර්ෂික වාර්තාව වෙනුවෙන් පිරිනමන එඩ්මන්ඩ් ජේ. කුරේ අනුස්මරණ සම්මානය, කළමනාකරණ නිරීක්ෂණය වෙනුවෙන් පිරිනමන රන් සම්මානය, ආයතනික යහපාලන අනාවරණය සඳහා රිදී සම්මානය, සමස්ත අංශයේ වාර්ෂික වාර්තා වෙනුවෙන් පිරිනමන ලෝකඩ සම්මානය සහ ආයතනික සමාජ වගකීම් වාර්තාකරණය වෙනුවෙන් පිරිනමන ලෝකඩ සම්මානය දිනාගැනීමට කොමර්ෂල් බැංකුව පසුගියදා සමත්විය.

    ආසියානු තිරසාරාත්මක වාර්තාකරණ සම්මාන ප්‍රදානය මගින් ආසියාවේ තිරසාරාත්මක වාර්තාකරණ නායකයික් ඇගයීමට සහ ගෞරවාදරයට ලක් කරයි. මෙම සම්මාන මගින් තිරසාරාත්මක වාර්තාකරණයේ සහ සන්නිවේදනයේ යහ ක්‍රියාවේදයන් ඇගයීම කරනු ලබයි.

    මෙම සම්මාන ප්‍රදාන වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් CSR Works International කළමනාකාර අධ්‍යක්ෂ, රාජේෂ් චබරා මහතා මෙසේ සඳහන් කළේය. “ගෝලීය ප්‍රවණතාවය සමග අනුගත වෙමින් බොහෝ ආසියානු සමාගම් මේ වනවිට තිරසාරාත්මක වාර්තාකරණයට යොමු වෙමින් තිඛෙනවා. අපගේ අරමුණ වන්නේ තිරසාරාත්මක වාර්තාකරණයේ නායකත්වය දැක්වූවන් ඇගයීමට ලක්කරමින් තිරසාරාත්මක වාර්තාකරණය තවදුරටත් දිරිමත් කිරීම හා ප්‍රවර්ධනය කිරීමයි. මෙම සමාගම් දැක්වූ කැපවීම ඇගයීමට අවස්ථාවක් නිර්මාණය කිරීමට අපට අවශ්‍ය වන අතර මෙය ආසියාවේ සමාගම්වල යහ ක්‍රමවේදයන් ප්‍රදර්ශනය කිරීමට ලැඛෙන අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකියි. මීට අමතරව, මේ තුළින් දැනුම සහ ඉගෙනුම ඛෙදාහදා ගැනීමට, සාකච්ඡා කිරීමට සහ පොදු අභියෝගයන්ට පිළිතුරු සෙවීමට අවස්ථාවක් ලැඛෙනවා.“

    මෙරට තුළ ශාඛා 250 ක් සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 624 ක් තිඛෙන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම පස් වතාවක් තේරී පත්වූ එකම ශ්‍රී ලාංකේය බැංකුවයි. 2014 වසරේදී ලංකාවේ වඩාත් වටිනාම පුද්ගලික අංශයේ සන්නාමය ලෙසත් වසර ගණනාවක් පුරා මෙරට හොඳම බැංකුව ලෙසත් තවත් දෙස් විදෙස් සම්මාන රැසකට කොමර්ෂල් බැංකුව පාත්‍රවී ඇත. ලංකා වාණීජ මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට 2013 දී සහ 2014 වසරේදී බැංකුව තෝරා ගන්නා ලදී.

    කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 18 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. 2015 සැප්තැම්බර් මාසයේදී මාලදිවයින තුළ පළමුපෙළ බැංකුවක් ආරම්භ කිරීමේ නියාමන අනුමැතිය බැංකුවට හිමිවිය.

    ඡායාරූපය - කොමර්ෂල් බැංකුවේ මූල්‍ය අංශයේ ප්‍රධානී, එම්.පී. ධර්මසිරි මහතා (වමේ) වෙත සිංගප්පූරුවේ පිහිටි බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් කාර්යාලයේ ගිනිකොන දිග ආසියානු ‘ක්ලයිමට් චේන්ජ් ඇන්ඩ් එනර්ජි නෙට්වර්ක්‘ හි අධ්‍යක්ෂ ඩේවිඩ් වින්සන්ට් මහතා විසින් ලබාදෙයි.