ආසිරි, සෙන්ට්‍රල් රෝහලේ බලය තවත් අල්ලයි

    February, 7, 2014

    ජෝන් කීල්ස් සමාගම ඇතුළු පාර්ශවයන් තුනක් සතුවූ කොටස් මිලදී ගනිමින් ආසිරි හොස්පිට්ල්ස් හොල්ඩින්ග්ස් සමාගම විසින් සෙන්ට්‍රල් හොස්පිට්ල්ස් සමාගමේ තමන් සතුවූ කොටස් ප්‍රමාණය සියයට 18.26 ක සිට සියයට 55.6 ක් දක්වා වැඩිකර ගනී.

    මේ අනුව, ආසිරි විසින් සෙන්ට්‍රල් හොස්පිට්ල්ස් හි, ජෝන් කීල්ස් සමාගම සතුවූ සියයට 24.06 ක කොටස් මිලදීගෙන තිබෙන්නේ රුපියල් බිලියන 1.59 ක මුදලකටයි.

    මෙම අලෙවිය මගින් ජෝන් කීල්ස් සමූහය විසින් රුපියල් මිලියන 662 ක ප්‍රාග්ධන ලාභයක් උපයාගෙන තිබේ.

    මීට අමතරව, යුනියන් ඇෂුවරන්ස් සමාගම සියයට 2.73 ක කොටස් විකුණා තිබෙන අතර Aureos South Asia අරමුදල විසින් සියයට 10 ක කොටස් ආසිරි වෙත විකුණා ඇත.

    මෙම ගනුදෙනුවේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 2.4 ක් වන අතර ආසිරි හොස්පිට්ල්ස් හෝල්ඩින්ග්ස් අයත් වන්නේ සොෆ්ට්ලොජික් සමූහයටයි.