ආහාර සුරක්ෂිතතා කළමනාකරණය වෙනුවෙන් Motha Confectionery සමාගම ISO 22000 සහතිකය දිනාගනී

    May, 21, 2016

    ISO 22000 ප‍්‍රමිතිය මගින් ආහාර සුරක්ෂිතතා කළමනාකරණ තත්ත්වයන්ගේ ප‍්‍රධාන අරමුණු ඉටුකරන අතර මෙම ප‍්‍රමිතිය මගින් අදාළ ආයතනයට සමස්ත ආහාර නිෂ්පාදන ක‍්‍රියාවලිය තුළදී ආහාර සුරක්ෂිතතා උවදුරු හඳුනා ගනිමින් ඒවා පාලනය කිරීමට අවශ්‍ය හැකියාව ලබාදෙනු ඇත. මෙහිදී, දැඩි අනුකූලතාවයක් සහතික කිරීම සඳහා ව්‍යුහාත්මක කළමනාකාරණ පද්ධති රාමුවක් යටතේ කාර්යක්ෂම ආහාර සුරක්ෂිතතා පද්ධතියක් ඇතිකර එය මෙහෙයවීම සහ යාවත්කාලීන කිරීම කළ යුතුවේ. ඒවා අනිවාර්යෙන්ම ආයතනයේ සමස්ත කළමනාකරණ ක‍්‍රියාකාරකම් වලට ඒකාබද්ධ කිරීම කළ යුතුය.

    මෙම දැඩි සහ පරිපූර්ණ ක‍්‍රියාවලිය ඇතුළත, මෝතා කන්ෆෙක්ෂනරි වර්ක්ස් (ප‍්‍රයිවට්) ලිමිටඞ් (Motha Confectionery Works (Pvt) Ltd) සමාගම වෙත ආහාර සුරක්ෂිතතා කළමනාකරණ පද්ධති වෙනුවෙන් පිරිනැමෙන ඉතාමත් ගෞරවණීය ISO 22000 සහතිකය සමාගමේ බොල්ලත, ගනේමුල්ලේ පිහිටි කර්මාන්ත ශාලාව සඳහා ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය විසින් පිරිනමා තිබේ.

    ජාත්‍යන්තර ප‍්‍රමිති ආයතනය විසින් ISO 22000 සහතිකය පිරිනැමීම සඳහා සපුරාලිය යුතු අවශ්‍යතාවයන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒවාට දැඩි ලෙස අනුකූල වන පරිදි මෙම කර්මාන්ත ශාලාව ඉදිකිරීමට මෝතා කන්ෆෙක්ෂනරි වර්ක්ස් (ප‍්‍රයිවට්) ලිමිටඞ් (Motha Confectionery Works (Pvt) Ltd) සමාගමේ කළමනාකාරීත්වය උපාය මාර්ගිකව කටයුතු කරන ලදී. මේ පිළිබඳව සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, නිහාල් ඒ.පී. විජේරත්න මහතා මෙසේ අදහස් දැක්වීය. ’මෙම කර්මාන්ත ශාලාවේ සියළුම ක‍්‍රියාවලීන් සහ පද්ධතීන්ට අමතරව මෙහි අති නවීන නිෂ්පාදන සහ තත්ත්ව පාලන පහසුකම් මෙන්ම අපගේ සමස්ත සැපයුම් දාමයම ඉතාමත් දැඩි ISO 22000 ප‍්‍රමිතිය සපුරා තිබෙනවා’.

    වසර 50 කට වැඩි කීර්තිමත් ඉතිහාසයක් තිබෙන මෙම සමාගම මෙරට ජෙලී, අතුරුපස මිශ‍්‍රණ සහ පාන මිශ‍්‍රණ වෙළඳපොළේ 85% කට වැඩි වෙළඳ පොළ කොටසක් අත්පත් කර ගැනීමට සමත්ව තිබෙන බව ජාත්‍යන්තර ස්වාධීන සමීක්ෂණ ආයතනයක් විසින් සහතික කර තිබේ. ආහාර සුරක්ෂිතතාවය, පිරිසිදුකම සහ ගුණාත්මක තත්ත්වය පිළිබඳව සමාගමේ තිබෙන දැඩි කැපවීම මෙම ප‍්‍රමිති සහතිකය දිනා ගැනීම සඳහා සමාගමට පිටුබලයක් වී ඇත. මෙහිදී, පෙන්වාදිය යුතු වැදගත් කාරණයක් වන්නේ දේශීය වෙළඳ පොළේ තමන්ගේ නායකත්වය එක ලෙස අදටත් පවත්වාගැනීමට සමත්ව තිබෙන දේශීය සමාගම් කිහිපයක් අතුරින් එකක් ලෙස මෝතා කන්ෆෙක්ෂනරි වර්ක්ස් (ප‍්‍රයිවට්) ලිමිටඞ් හැඳින්විය හැකි වීමයි.

    මෝතා කන්ෆෙක්ෂනරි වර්ක්ස් (ප‍්‍රයිවට්)ලිමිටඞ් සමාගම සතුව ඉතාමත් ශක්තිමත් පර්යේෂණ සහ සංවර්ධන අංශයක් තිබෙන අතර පළපුරුද්දෙන් ඉහළ සුදුසුකම් සපිරූ කාර්ය මණ්ඩලයක් එහි සේවය කරයි. එමගින් කාර්යක්ෂම ආහාර සුරක්ෂිතතා කළමනාකරණ පද්ධතියක් පවත්වා ගැනීමට සමාගම නිබඳවම කැපවී සිටී. මෙම අංශය විසින් නිරන්තරවම නව නිෂ්පාදන පරීක්ෂා කරන අතර ජාත්‍යන්තර නිෂ්පාදන දේශීය රුචිකත්වය සහ රස අනුව ගැලපීම සිදුකරනු ලබයි. මෙයින් අරමුණු කර තිබෙන්නේ වෙළඳ පොළේ පුළුල් කණ්ඩායමක් වෙත සිය නිෂ්පාදන පුළුල් කිරීමයි.

    මෝතා සන්නාමය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නාමයක් වෙද්දී ඉන්දියානු සහ මාලදිවයින් වෙළඳ පොළවල් වලට පිවිසීමටද සමාගම කටයුතු කර තිබේ. මීට අමතරව, මෝතා නිෂ්පාදන සැලකිය යුතු ශ‍්‍රී ලාංකිකයින් ප‍්‍රමාණයක් ජීවත්වන කැනඩාව, ඕස්ටේ‍්‍රලියාව, එංගලන්තය සහ ඇමරිකාව යන රටවලද ප‍්‍රචලිත වී තිබේ. තමන්ගේ ආහාර සංස්කෘතිය සමග ඒකාබද්ධ වීමට මොවුන්ට මෝතා නිෂ්පාදන නිසා අවස්ථාව ලැබී තිබේ.

    වර්තමානයේදී බොහෝ ආහාර නිෂ්පාදන නිරන්තරයෙන් ජාත්‍යන්තර වෙළඳපොළ වෙත යොමුකරන අතර ඒ වෙනුවෙන් ගෝලීය ආහාර සැපයුම් දාමය තුළ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා ජාත්‍යන්තර ප‍්‍රමිතීන් අදාළ කර ගැනීම අත්‍යවශ්‍ය වේ. මේ අනුව, සමාගමේ අනාගත සැලසුම් වලට අනුව ජාත්‍යන්තර පාරිභෝගිකයින්ගේ විශ්වාසය දිනාගැනීම සඳහා ISO 22000 ප‍්‍රමිතිය ලබාගැනීම අතිශයින් උපකාරී වනු ඇත.

    මෝතා සන්නාමයෙන් යුතු පුළුල් නිෂ්පාදන පෙළ එවැනිම පුළුල් පාරිභෝගික කණ්ඩායමක් ආදරයෙන් වැළඳගෙන තිබෙන අතර සාමාන්‍ය කාමර උෂ්නත්වයේදී ජෙලී බවට පත්වන ශීතකරණයක් අවශ්‍ය නොවන ’ක්වික් සෙට් ජෙලී’ නැමති ජෙලි නිෂ්පාදනය සමාගම විසින් හඳුන්වා දී තිබේ. මේ අතර, සීනි රහිත මෝතා ජෙලිද සමාගම විසින් වෙළඳපොළට ඉදිරිපත් කර ඇත. සීනි භාවිතා නොකරන පාරිභෝගිකයින් අතර මෙම නිෂ්පාදන ඉතාමත් ප‍්‍රචලිත වී තිබේ.

    1960 වසරේදී ආරම්භ කළ මෝතා කන්ෆෙක්ෂනරි වර්ක්ස් (ප‍්‍රයිවට්) ලිමිටඞ් සමාගම විසින් මෝතා සන්නාමය මෙරට පාරිභෝගිකයින් අතර රැව් පිළිරැව් දෙන කීර්තිමත් දේශීය සන්නාමයක් බවට පත්කිරීමට සමත්ව තිබේ. සමාගම විසින් නිපදවන දේශීය නිෂ්පාදන මාලාව අතර අතුරුපස, පාන මිශ‍්‍රණ සහ කේක් නිෂ්පාදන යෙදවුම් ප‍්‍රමුඛ වේ. මෝතා කන්ෆෙක්ෂනරි වර්ක්ස් (ප‍්‍රයිවට්) ලිමිටඞ් සමාගම විසින් සිය ප‍්‍රමුඛතම නිෂ්පාදනය ලෙසින් මෝතා ජෙලී නිෂ්පාදනය සිදුකරන අතරම අසමසම රසයකින් සහ දැරිය හැකි මිලකින් යුතුව නව නිෂ්පාදන පෙළක් පාරිභෝගිකයින්ට ඉදිරිපත් කර තිබේ. සුප‍්‍රසිද්ධ සූපවේදීන් විසින් පවත්වන වැඩසටහන් ඔස්සේ වෙළඳපොළ ප‍්‍රමුඛයා ලෙසින් සමාගම විසින් වෙළඳපොළ තවදුරටත් පුළුල් කරන අතරම ව්‍යවසායකත්ව සහ සූපවේදී හැකියාවන් ඔප් නැංවීමට අවශ්‍ය තරග සංවිධානය කරමින් ජනතාව දිරිමත් කිරීමට කටයුතු කරයි.