June, 27, 2024
GAP අනුගමනය කිරීමෙන් කුඩා ගොවීහු අක්කර 1/4ක ඉඩමකින් එක් වගා කන්නයකට රුපියල් මිලියනයකට අධික ලාභයක් වාර්තා කරති.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් බදුල්ල, මොණරාගල සහ මුලතිව් දිස්ත්‍රික්කවල කුඩා එළවළු ගොවීන් 600කට අධික පිරිසකගේ ගොවිපළ නවීකරණය කරමින් යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) හඳුන්වා දෙන ලදී.
කෘෂිකර්මාන්තය සඳහා නවීන, දේශගුණයට ඔරොත්තු දෙන ප්‍රවේශයන් ඵලදායී ලෙස අනුගමනය කිරීමට අවශ්‍ය මෙවලම් සහ දැනුමෙන් ඉලක්ක ගොවීන් සන්නද්ධ කිරීම කෙරෙහි මෙම මුලපිරීම අවධානය යොමු කළේය. GAP අනුගමනය කිරීම අවධාරණය කරමින් සහභාගිවන්නන්ට අක්කර කාලක (0.25ක) භූමි ප්‍රමාණයකට ගැලපෙන කෘෂිකාර්මික කට්ටල ලබා දෙන ලදී. මෙම කට්ටල බිංදු වාරිමාර්ග පද්ධති, ප්ලාස්ටික් වසුන්, කෘමි-ප්‍රතිරෝධක දැල් සහ ගැල්වනයිස් කරන ලද යකඩ (GI) පයිප්ප වැනි අත්‍යවශ්‍ය අංගයන්ගෙන් සමන්විත වන අතර, කාර්යක්ෂම සම්පත් භාවිතය සහ පිරිවැය අඩු කිරීම සඳහා උපකාර කරයි.
මීට අමතරව, FAO විසින් ගොවි ක්ෂේත්‍ර පාසල් (FFS) හරහා ධාරිතා ගොඩනැගීමට පහසුකම් සලසා ඇත. GAP සහතිකය ලබා ගැනීමට අවශ්‍ය විශේෂඥ දැනුමෙන් ගොවීන් සවිබල ගන්වනු ලැබේ. ව්‍යාප්ති ප්‍රවේශයන් උපයෝගී කරගනිමින් සහ සාර්ථක GAP ගොවිපළ හඳුනා ගැනීමේ චාරිකා සංවිධානය කිරීමෙන්, සහභාගිවන්නන් නවීන කෘෂිකාර්මික ක්‍රමවේද පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගත්හ. තවද, කුඩා ගොවීන්ට ලෝක ආහාර වැඩසටහන (WFP) හරහා මුදල් ආධාර ලබාදුන් අතර, සංක්‍රාන්ති අවධියේදී ඔවුන්ගේ ආහාර සහ පෝෂණ අවශ්‍යතා සපුරාලීමට ඔවුන්ට උපකාර කරන ලදි.
මුලපිරීමේ ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල මගින් එහි සාර්ථකත්වය පැහැදිලිව දක්නට ලැබේ. සහභාගී වූ ගොවීන්ගෙන් 71%කට වඩා වැඩි ප්‍රමාණයක් බෝග ගුණාත්මකභාවයේ කැපී පෙනෙන දියුණුවක් සහ පලිබෝධනාශක සහ කෘෂි රසායන භාවිතයේ අඩුවීමක් වාර්තා කර ඇත. තවද, කෘමි ප්‍රතිරෝධක දැල් මගින් පලිබෝධ උවදුරු සහ රෝග අඩුවීමට හේතු වී ඇති අතර වඳුරන්, මොනරුන් සහ වල් ඌරන් වැනි වන සතුන්ගෙන් වන හානිය අවම කර, බෝගවල ඔරොත්තු දීමේ හැකියාව සහ තිරසාර බව වැඩි කර ඇත.
ගොවීන්ගෙන් 72%ක් මුළු ආදායමේ වැඩිවීමක් වාර්තා කර ඇති අතර, ගොවීන් 24 දෙනෙක් තනි වගා කන්නයකදී රුපියල් මිලියනයකට වඩා වැඩි ලාභයක් ලබාගෙන ඇත. ගොවීන් 150කට වැඩි පිරිසක් රු. 500,000/-කට වැඩි ආදායමක් ලැබූහ. වැඩසටහනේ ආර්ථික බලපෑමෙහි තරම මෙම සංඛ්‍යා මගින් අවධාරණය කරනු ලැබේ. ඉඩම් අක්කර 0.25ක හෙවත් අක්කර කාලක ඉඩමක සාමාන්‍ය රසායනික පොහොර භාවිතය 48%කින් අඩු කිරීම මගින් මෙම මුලපිරීම සැලකිය යුතු පාරිසරික ප්‍රතිලාභයක් ලබා දී තිබේ.
මෙම මැදිහත්වීම එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා SDG (තිරසර සංවර්ධන අරමුණු) අරමුදල මගින් අරමුදල් සපයන ඒකාබද්ධ ආහාර සුරක්ෂිතතා වැඩසටහනක කොටසකි. අරමුදල ජාතික ප්‍රමුඛතා සහ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන සහයෝගීතා රාමුව (2023-2027) සමඟ සමපාත වන නව්‍ය, උත්ප්‍රේරක සහ පරිවර්තනීය මුලපිරීම් ප්‍රවර්ධනය කරයි. එයට ඕස්ට්‍රේලියාව, කැනඩාව, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, සාමය ගොඩනැගීමේ අරමුදල සහ ඒකාබද්ධ SDG අරමුදල සහාය දක්වයි.
දිස්ත්‍රික්ක තුනේ ගොවීන්ගේ ජයග්‍රහණ අගයමින් තණමල්විලදී සම්මාන ප්‍රදානෝත්සවයක් පැවැත්විණි. ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ලලිතා කපූර් මහත්මිය, පළාත් කෘෂිකර්ම ලේකම් උපාලි ජයසේකර මහතා සහ FAO සහකාර නියෝජිත (වැඩසටහන්) නලින් මුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. එහිදී ආදර්ශවත් ජයග්‍රහණ ඇගයීමට ලක් වූ අතර, වෙළෙඳපොළ ඉල්ලුම ඉහළ නැංවීම සහ තිරසාර කෘෂිකාර්මික භාවිතයන් පෝෂණය කිරීම සඳහා GAP සහතිකයේ ප්‍රධාන කාර්යභාරය ද අවධාරණය කරන ලදි.
ශ්‍රී ලංකාවේ FAO කෘෂිකාර්මික නවීකරණය පෝෂණය කිරීමට සහ ගොවීන්ගේ ජීවනෝපායන් නඟා සිටුවීමට කැපවී සිටින අතර, ශ්‍රී ලංකාවේ ඔරොත්තු දෙන සහ සමෘද්ධිමත් කෘෂිකාර්මික අංශයකට මග පාදයි.
ඡායාරූප විස්තර: ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ලලිතා කපූර් මහත්මිය, පළාත් කෘෂිකර්ම ලේකම් උපාලි ජයසේකර මහතා සහ FAO සහකාර නියෝජිත (වැඩසටහන්) නලින් මුණසිංහ මහතා විසින් තණමල්විල ප්‍රදේශයේ පැවති සම්මාන ප්‍රදානෝත්සවයේදී GAP සාර්ථකව අනුගමනය කළ ගොවීන් වෙත සම්මාන ප්‍රදානය කරන ලදී.
Video Story