October, 3, 2023
2023 වසරෙ මෙතෙක් වාර්තා වූ ඉහළම මාසික අපනයන ආදායම අගෝස්තු මාසයේ දී වාර්තා වී තිබේ. කෙසේවෙතත් වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම 2023 වසරේ අගෝස්තු මාසයේ දී වාර්ෂික ලක්ෂ්යමය පදනම මත එක්සත් ජනපද ඩොලර් මිලියන 1,119ක් දක්වා සියයට 8.7කින් පහළ ගොස් ඇති බව, 2023 අගෝස්තු මාසයේ විදේශීය අංශයේ ක්රියාකාරීත්ව වාර්තාව නිකුත් කරමින් ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
එම වාර්තාවේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
අඛණ්ඩව විදේශීය ඉල්ලුම පහළ යෑම හේතුවෙන් ප්රධාන වශයෙන් ඇඟලුම් ඇතුළු කාර්මික භාණ්ඩ අපනයන ආදායමෙහි පහළ යෑම අපනයන ආදායම අඩුවීම සඳහා බලපෑවේය. 2023 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලපරිච්ඡේදය තුළ සමස්ත අපනයන ආදායම ද එක්සත් ජනපද ඩොලර් මිලියන 8,010 ක් දක්වා පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 10.1කින් අඩු විය.
කාර්මික භාණ්ඩ අපනයන ආදායම වසරකට පෙර පැවති අගයට සාපේක්ෂව 2023 වසරේ අගෝස්තු මාසයේ දී ද අඛණ්ඩ පහළ යෑමක් පෙන්නුම් කළ අතර, ප්රවාහන උපකරණ අපනයන ආදායමෙහි ඉහළ යෑම හමුවේ වුවද ඇඟලුම් අපනයන ආදායම අඩු වීම මෙම පහළ යෑම සඳහා සැලකිය යුතු ලෙස හේතු විය.
බොහෝ ප්රධාන වෙළෙඳපොළ (ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය) වෙත සිදුකරන ඇඟලුම් අපනයන පහළ යෑමක් පෙන්නුම් කරමින්, 2023 වසරේ අගෝස්තු මාසයෙන් අවසාන වන මාස අට තුළ දී ඇඟලුම් අපනයන සියයට 20 කින් පහළ ගියේය.
එමෙන්ම අනෙකුත් ප්රධාන අපනයනයන් අතරින් රබර් නිෂ්පාදිත (ප්රධාන වශයෙන්, ටයර් සහ අත්වැසුම්) සහ සත්ත්ව ආහාර (ප්රධාන වශයෙන් තිරිඟු අවශේෂ), අපනයනයෙහි ද සැලකිය යුතු පසුබෑමක් ඇති විය.
කෙසේ වෙතත් ප්රවාහන උපකරණ අපනයන ආදායම (විශේෂයෙන්ම නැවක්), ආහාර පාන වර්ගසහ දුම්කොළ සහ ඛනිජ තෙල් නිෂ්පාදිත (නැව් සහ ගුවන් යානා සපයන ලද ඉන්ධන අපනයන පරිමා වැඩිවීම) 2023 වසරේ අගෝස්තු මාසයේ දී ඉහළ ගියේය.
Video Story