ඇමතිවරුන් සහ නිළධාරීන්ගේ රට සවාරි වලට සීමා. අගමැති, ඇමති මණ්ඩලයට දුන් අවවාද මෙන්න!

    September, 23, 2015

    රජයේ මුදල් වැය කිරීමේදී ඒවා අරපරිස්සමින් භාවිතා කළ යුතුබව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට අවධාරණය කර තිබෙන අතර නාස්තිය අවම කර ගැනීම සඳහා විවිධ ක්‍රියා මාර්ග ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

    මේ අනුව, කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් නියෝජ්‍ය අමාත්‍යවරුන් හා සෙසු තේරී පත්වූ සියළුම මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිළධාරීන්ගේ විදේශ සංචාර හැකිතාක් දුරට සීමා කර ඇතැයි රජය කියයි.

    අත්‍යවශ්‍ය ස්වභාවයේ විදේශ සංචාරවල නියැලීමේදී වුවද අදාළ කටයුතු සඳහා අවශ්‍යයෙන්ම සහභාගී වියයුතු තැනැත්තන් පමණක් නියෝජිත කණ්ඩායමට ඇතුළත් කරගත යුතු බව සඳහන්ය.

    පරිවාර වාහන සහ ආරක්ෂකයින්ගේ සේවය ලබාදී තිබෙන ප්‍රභූන්ට, මහජන නියෝජිතයින්ට සහ බළධාරීන්ට වර්තමානයේ සැලසිය යුතු ආරක්ෂාව පිළිබඳව කරනු ලබන විධිමත් ඇගයීමකින් පසුව ඔවුන්ට සපයා දී ඇති ආරක්ෂක නිළධාරීන් හා වාහන සංඛ්‍යාව හැකිතාක් දුරට අඩුකරන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදී ඇත.

    මෙම සියළුම මාර්ගෝපදේශ පළාත් බළධාරීන්ට, ආරක්ෂක හමුදාවන්ට, රජය සතු ව්‍යවසායන්ට, ව්‍යවස්ථාපිත මණ්ඩල වලට සහ රජය සතු සමාගම් වලටද අදාළ වනබව වැඩිදුරටත් සඳහන් වේ.