ඉඩම් කළමනාකරණ භාරය ස්ථාපිත කිරීමට ජනපතිගෙන් යෝජනාවක්

    March, 5, 2024

    මෙරට මුළු බිම් ප්‍රමාණයෙන් 82%ක පමණ භූමි ප්‍රමාණයක හිමිකාරිත්වය රජය සතු අතර එම ඉඩම් ආරක්ෂා කිරීම හා පාලනය කිරීම රජයේ ආයතන ගණනාවකට පැවරී ඇත.
    එකී ආයතන විසින් ඒකාබද්ධ ප්‍රවේශයක් අනුගමනය කිරීමකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් රජයේ ඉඩම් ආයෝජන කටයුතු සඳහා නිදහස් කිරීමේදී විවිධ ගැටලු පැන නැගී ඇති බව පෙනී ගොස් තිබේ.
    එබැවින්, නව කර්මාන්ත හා සේවා ඇති කිරීම සහ නව රැකියා අවස්ථා සුලභ කළ හැකි ආයෝජන අවස්ථා දිරිගැන්වීම පිණිස, සුදුසු විභවයන් සහිත ඉඩම් හඳුනා ගන්නා අවස්ථාවේ සිට ආයෝජකයන් වෙත පාරදෘශ්‍ය ක්‍රමවේදයක් අනුගමනය කරමින් විධිමත්ව ඉඩම් නිදහස් කිරීම දක්වා නිසි බලතල සහිත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍යව ඇත.
    ඒ අනුව, රජයේ හා ව්‍යවස්ථාපිත ආයතන සතු ඉඩම් ආයෝජකයින් වෙත නිදහස් කිරීමට අදාළව යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ලේකම්ගේ සභාපතිත්වය යටතේ අදාළ සියලු අමාත්‍යාංශවල හා ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විත ඉඩම් කළමනාකරණ භාරය ස්ථාපිත කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.