“ඉඩම් විකුණන, කොළඹ යටවෙන කතා මට මතක නෑ“ – පෝර්ට් සිටි ව්‍යාපෘතියට නව රජයේ අනුමැතිය

    February, 5, 2015

    චීන රාජ්‍ය සමාගමක් සමග ඒකාබද්ධ වී ඩොලර් බිලියන 1.4 දැවැන්ත ආයෝජනයකින් කොළඹ ගාලු මුවදොර ආසන්නයේ මුහුද ගොඩකර වරාය නගරයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය ඉදිරියටත් කරගෙන යාම සඳහා වත්මන් රජයේ කැබිනට් මණ්ඩලය විසින් අවසර ලබාදී තිබේ.

    කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ මෙම ව්‍යාපෘතියට අදාළව පසුගිය රජය විසින් සිදුකළ පරිසර අධ්‍යන වාර්තාවන් සලකා බැලීමෙන් පසුව මෙම තීරණය ගත් බවයි.

    මෙම ව්‍යාපෘතිය යටතේ මුහුද ගොඩකිරීම සඳහා පසුගිය රජය විසින් පරිසර බලපෑම් තක්සේරුවක් (EIA) කර ඇතැයි ව්‍යාපෘතිය විමර්ශනය කිරීමට වත්මන් රජය විසින් පත්කළ කමිටුව විසින් දැනුම් දී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී කීය.

    එක්සත් ජාතික පක්ෂය පසුගිය සමයේ දිගින් දිගටම චෝදනා කළේ මෙම ව්‍යපෘතිය දූෂිත එකක් බවත් මුහුද ගොඩ කිරීමෙන් අත්පත් කරගන්නා ඉඩම් වලින් කොටසක් චීනයට ලබාදීම සඳහා මෙහිදී එකඟ වී තිබෙන බවයි.

    කෙසේවෙතත්, මෙම ව්‍යාපෘතිය සිදුකරන චීන සමාගමේ අයිතියට ලබාදෙන ඉඩම් ප්‍රමාණය පිළිබඳව තවමත් අවසන් තීරණයකට එළඹී නොමැති බවත් ඒ පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කර තීරණයක් ගන්නා බවත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙම ව්‍යාපෘතිය නිසා මුහුදු රළ වේගය වැඩිවීමෙන් මීගමුවේ සිට බේරුවල දක්වා සංචාරක ආකර්ශනයක් දිනාගත් ස්ථාන විනාශ වනු ඇතැයි පසුගිය කාලයේදී එක්සත් ජාතික පක්ෂය එල්ලකළ චෝදනා පිළිබඳව මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ අතර ඔහු සඳහන් කළේ මොරටුව විශ්ව විද්‍යාලය විසින් සිදුකළ පරිසර බලපෑම් වාර්තාවේ (EIA) එවැන්නක් සඳහන් නොවන බවත් එම චෝදනා පදනම් විරහිත බවයි.

    මෙම ව්‍යාපෘතිය යටතේ මුහුද ගොඩකර ලබාගන්නා ඉඩම් වලින් කොටසක් චීන සමාගමට ලබාදීමට විරුද්ධව මීට පෙර වත්මන් රජයේ නියෝජිතයින් දිගින් දිගටම කතා කර තිබුණත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා අද පැවසුවේ මුහුද ගොඩකිරීම සඳහා චීන සමාගමට පිරිවැයක් යන නිසා ගොඩකරන ඉඩම් වලින් කොටසක් එම සමාගමට ලබාදීමේ වරදක් නැති බවයි. කෙසේවෙතත්, එලෙස ලබාදෙන ඉඩම් ප්‍රමාණය ගැන අවසන් තීන්දුවක් ලබාගෙන නැතැයිද අමාත්‍යවරයා කීය.

    මේ අතර, මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන මාර්තු මාසයේදී චීනයේ සංචාරය කිරීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    පෝර්ට් සිටි ව්‍යාපෘතියෙන් චීන සමාගමට පසුගිය රජය විසින් ඉඩම් ලබාදීමට එකඟවූ හැටි මෙන්න!

    කොළඹ වරාය අසල මුහුද ගොඩකර ඉදිකිරීමට යන වරාය නගරයේ ඉඩම් ආයෝජකයාට ලබාදෙන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එකළ අනාවරණය කර තිබුණි.

    මහ බැංකුවේ 2013 වාර්ෂික වාර්තාවට අනුව කොළඹ වරාය පුළුල් කිරීමේ දියකඩනය සමීපයේ සිට ගාලු මුවදොර පිටිය දෙසට පිහිටි මුහුදු ප්‍රදේශය ගොඩ කිරීම මගින් මෙම නව වරාය නගරය ඉදිකරයි.

    මෙහිදී, යෝජිත ව්‍යාපෘතිය මගින් හෙක්ටයාර 233 කට නොඅඩු භූමි භාගයක් මුහුද ගොඩකිරීම මගින් ලබාගන්නා බව මහ බැංකුව සඳහන් කර තිබේ.
    මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් තෝරාගෙන තිබෙන චයිනා කොමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන් සමාගමට මුහුද ගොඩ කිරීමෙන් පසුව හෙක්ටයාර 108 ක භූමි ප්‍රමාණයක් ආදාල ආයෝජන පිරිවැය, අලෙවි ප්‍රවර්ධන වියදම් පියවා ගැනීම සඳහා සහ ලාභ වශයෙන් වෙන්කිරීමට නියමිත බව මහ බැංකුව පවසා ඇත.

    එසේ වෙන්කරන භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර 20 ක ප්‍රමාණයක් නිදහසේ භුක්ති විඳීමේ පදනම මතද ඉතිරි හෙක්ටයාර 88 ක භූමි ප්‍රමාණය වසර 99 ක බදු පදනමක් මතද ලබාදීමට නියමිත බව සඳහන්ය.

    මුළු ගොඩකරන භූමි ප්‍රමාණයෙන් ඉතිරිවන භූමි ප්‍රමාණය වන හෙක්ටයාර 125 ක කොටස ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවතින බව මහ බැංකුව සඳහන් කර තිබේ.

    මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා ඇස්තමේන්තුගත ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක මුදල ආයෝජකයා වන චයිනා කොමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන් සමාගම විසින් ආයෝජනය කරයි.

    මහ බැංකුව එකළ පවසා තිබු‍ණේ මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් යෙදවීම ව්‍යාපෘතියේ ආයෝජකයා විසින් විදේශීය සෘජු ආයෝජනයක් ලෙස සිදුකිරීමට නියමිත නිසා මෙම ව්‍යාපෘතියේ මූල්‍යන කටයුතු සඳහා රජය වෙත කිසිදු වියදමක් හෝ විදේශීය ණය ගැනීමක් නොමැති බවයි.