ඉතිරි කිරීමෙන් ජීවිතය ජයගැනීමට මඟපෙන්වන SDB බැංකුව

    March, 10, 2023

    SDB බැංකුව ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවයන් විශාල පරාසයක් ආවරණය කරමින් නිෂ්පාදන හා සේවා විශාල ප්‍රමාණයක් ලබා දෙන ප්‍රමුඛ පෙළේ බැංකුවකි. ඒ අතරින් තරඟකාරී ඉහළ පොලී අනුපාතයක් ලබා දෙන, බොහෝවිට වෙළඳපොලේ හොඳම පොලී අනුපාතය ලබා දෙන SDB බැංකුවේ ඉතිරි කිරීමේ ගිණුම් සේවාවන් සුවිශේෂී වේ.

    ඉතිරි කිරීම යනු ලොකු කුඩා සියලු දෙනාගේම ජීවිතයට වැදගත් වන හොඳ පුරුද්දක් බව සැවොම දැනුවත් කරුණකි. ඉතිරි කිරීමේ පුරුද්ද නිසා ජීවිතයේ ලැබෙන අවස්ථාවලින් නිසි ඵල නෙලා ගැනීමට හැකියාවත්, ජීවිතයේ සිහින සැබෑ කරගැනීමට හැකියාවත් ලැබෙන අතර ඕනෑම තත්ත්වයකදී මූල්‍යමය අතින් තමන් ආරක්ෂිත බවට මානසික සහනයත් අපට ලැබේ. එසේ වුවද මේ සියලු ප්‍රතිලාභ නිසි පරිදි ලැබීමට නම් අපේ ඉතිරි කිරීමේ වෑයමට ලැබෙන පොලිය සහ ප්‍රතිලාභ ද ඉහළ මට්ටමක තිබීම වැදගත්ය.

    තිරසාර බැංකුකරණය සහ සංවර්ධනය වෙනුවෙන් කැපවුණු මහබැංකුවේ අනුමැතිය ලත් SDB බැංකුව වැනි පිළිගත් බැංකුවක ඔබේ මුදල් ඉතිරි කිරීමට තෝරා ගැනීම මේ හේතු නිසා ඉතා වැදගත් වේ. SDB බැංකුවේ ඉතිරි කරන ඔබේ මුදල්වල ප්‍රතිලාභ ඔබට මෙන්ම රටට ද හිමි වන බවට සහතිකය.

    නිතර ඉතිරි කිරීමට උත්සාහ කරන ගනුදෙනුකරුවන් වෙනුවෙන් හඳුන්වා දී ඇති SDB බැංකුවේ ටොප් සේවර් ප්ලස් (Top Saver Plus) ගිණුම කරුණු ගණනාවක් නිසා සුවිශේෂී වේ. ඉහළ පොලී අනුපාතය සහ නැවත මුදල් ගැනීම සඳහා සීමාවක් නොමැති වීම මෙන්ම ටොප් සේවර් ප්ලස් ගිණුම් හිමියන්ට උපරිම පොලී මුදලක් ලබාගැනීමට හැකි වීම පිණිස ගිණුම් ශේෂයට අනුව දිනපතා පොලී ගණනය කිරීම මේ අතරින් වැදගත්ම කරුණු වේ.

    දැයේ දූ දරුවන් වෙනුවෙන් SDB බැංකුව හඳුන්වා දී ඇති ලක්දරු ඉතිරි කිරීමේ ගිණුම ඉතිරි කිරීමේ පුරුද්දට දරුවන් උනන්දු කරවන ආකාරයට නිතිපතා තෑගි සහ වවුචරපත් තිළිණ කරන ගිණුමකි. SDB ලක්දරු ඉතිරි කිරීමේ ගිණුම් සම්බන්ධයෙන් වැදගත්ම කරුණ වන්නේ ඉහළ පොලියට අමතරව ඔබේ දරුවා වෙනුවෙන් වටිනා රක්ෂණවරණයක් ද නොමිලේම හිමි වීමයි. දරුවන්ට සෙනෙහස දක්වන මව්පියන් වශයෙන් මේ ප්‍රතිලාභවල ඇති වැදගත්කම ඔබට හොඳින් අවබෝධ වනු නිසැකය.

    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අතදීම වෙනුවෙන්ම කැපවුණු SDB බැංකුව ව්‍යාපාරිකයින් වෙනුවෙන් හඳුන්වා දී ඇති බිස්නස් සේවර් (Business Saver) ගිණුම SDB බැංකුවේ ඉතිරි කිරීම් ගිණුම් පෙළට අයත් අනෙක් ව්‍යාපාරික ඉතිරි කිරීමේ ගිණුම් විශේෂයයි. ඉහළ පොලී අනුපාතය මෙන්ම බිස්නස් සේවර් ගිණුම් හිමියන්ට තමන්ගේ ව්‍යාපාර කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවන්ට හොඳින් ගැලපෙන ප්‍රතිලාභ රැසක් හිමි වේ. ඒ අතරින් වැදගත්ම සේවාවක් වන්නේ ව්‍යාපාරිකයින්ගේ ඉතිරි කිරීමේ කටයුතු පහසු කිරීම සඳහා  සෑම ගිණුම් හිමියෙක්ටම සිය බිස්නස් සේවර් ගිණුම වෙනත් ජංගම ගිණුම් සමඟ ඩිජිටල් මාධ්‍යය හරහා සම්බන්ධ කිරීමට හැකි වීමයි.

    SDB බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අධීක්ෂණය කරනු ලබන බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් ලෙස, කොළඹ කොටස් වෙළඳපොලේ ප්‍රධාන මණ්ඩලයේ ලැයිස්තුගත කර ඇති අතර, ෆිච් (Fitch) BB+(lka) (ස්ථාවර) සහ ICRA ශ්‍රේණිගත කිරීම් (SL) BBB (ස්ථාවර), ණය ශ්‍රේණිගත කිරීම් හිමි ස්ථාවර සහ විශ්වාසනීය ආයතනයකි.

    SDB බැංකුවේ තැන්පතු අංශ ප්‍රධානී උදේන වැලිකුඹුර මහතා ඉතිරි කිරිමේ ගිණුම් පිළිබඳව අදහස් දක්වමින් පවසන්නේ, “SDB බැංකුව ලාංකිකයින් සහ ලාංකීය ව්‍යාපාරවල ප්‍රගතිය වෙනුවෙන් කැපවුණු බැංකුවක් නිසා පුළුල් පරාසයක කොටස් හිමියන් සහ දේශීය මෙන්ම ජාත්‍යන්තර අරමුදල් සහ මූල්‍ය ආයතන රැසකගේ මූල්‍ය සහයෝගය ලබන විශ්වාසනීය ආයතනයක්. අපේ මූල්‍ය ස්ථාවරත්වයේ සහ ශක්තියේ පදනම එයයි. SDB බැංකුව ඉතිරි කිරීමට හොඳම සහ ආරක්ෂිතම ස්ථානය වන්නේ අපේ ඒ මූල්‍ය ස්ථාවරත්වය සහ ශක්තිය නිසයි. තිරසාරත්වය මූලික කරගත් බැංකුවක් වශයෙන් අපේ ඉතිරි කිරීමේ ගිණුම්හිමියන්ට මෙන්ම රටටත් ජනතාවටත් එක ලෙස ප්‍රතිලාභ ලබා දෙන ක්‍රියාවලියක නිරත වීම ගැන අපි ආඩම්බර වෙනවා. ඒ වගේම අපි නව්‍යකරණය වෙමින් පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් සේවාව මූලික අරමුණ කරගත් බැංකුවක්. ඉතිරි කිරීමෙන් ජීවිතය ජයගන්න අපේක්ෂා කරන, ඒ වගේම තමන්ගේ රටේ දියුණුවත් බලාපොරොත්තු වෙන සැබෑ ශ්‍රී ලාංකිකයින්ට ඉතිරි කිරීමට හොඳම තැන SDB බැංකුව වන්නේ ඒ නිසයි.“

    වසර 25 කට වැඩි කාලයක් පුරා ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන්, විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය අතින්, දැවැන්ත මෙහෙවරක් ඉටු කර ඇති SDB බැංකුව ඉතිරි කිරීම ශ්‍රී ලාංකිකයින් අතර ප්‍රවර්ධනය කිරීම සිය වැදගත් කාර්යභාරයක් වශයෙන් සළකයි. පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් සේවාවක් සැපයීම SDB බැංකුව සිය මූලික ප්‍රතිපත්තියක් වශයෙන් සළකන අතර එය බැංකුවේ සියලු සේවාවන් හා නිෂ්පාදන තුළින් මනාව පෙන්නුම් කෙරේ. මේ හේතුව නිසා SDB බැංකුවට සිය සේවාවන් ලබන ප්‍රජාවන් සමඟ ගෞරවය හා විශ්වාසය මත පදනම් වූ ශක්තිමත් සබඳතාවයන් නිර්මාණය කරගැනීමට හැකියාව ලැබී ඇත. මේ හේතූන් නිසා ඉතිරි කිරීම වෙනුවෙන් SDB බැංකුව තෝරා ගන්නා ඔබට ලැබිය හැකි ඉහළම ප්‍රතිලාභ සහ විශිෂ්ටතම සේවාව හිමි වන අතරම ශ්‍රී ලාංකීය දේශය සංවර්ධනය කරා ගෙන යන ගමනක සාඩම්බර කොටස්කරුවෙකු වීමට ද අවස්ථාව හිමි වන බව සඳහන් කළ යුතුය.