ඉන්දීය ආර්ථික වර්ධනය සමඟ ඒකාබද්ධවීම තුළින් ශ්‍රී ලංකාවටද ප්‍රතිලාභ රැසක් ලබාගත හැකියි

    April, 15, 2024

    කිෂෝර් රෙඩ්ඩි විසිනි,

    වසර දහස් ගණනක ඉතිහාසය පුරා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික මෙන්ම වෙළෙඳ සහ වාණිජ යන ක්ෂේත්‍ර පිළිබඳ සබඳතා රැසක් ගොඩනැගී තිබේ.මෑතකාලීනව මෙම අසල්වාසී රටවල් ද්විත්වය විසින් සිය අන්‍යෝන්‍ය ආර්ථික සහයෝගීතාවයන් වඩාත් වේගවත් කර ඇති අතර එමඟින් ඩොලර් ට්‍රිලියන 3.7 ක ඉන්දියානු ආර්ථිකයකට  ප්‍රවේශ වීම සඳහා  ශ්‍රී ලංකාවේ ව්‍යාපාර වෙත අපූර්ව අවස්ථාවක්  විවර කර දී ඇත.ආර්ථික අර්බුදය මධ්‍යයේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාවයේ ප්‍රධාන සංධිස්ථානයක් සනිටුහන් වූ අතර, ඉන්ධන සහ ගෘහස්ථ ගෑස් සිලින්ඩර ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා හිටපු ප්‍රධානීන් විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 4ක පහසුකම් සලසන ලදී.ඉන්දියාවේ මෙම ක්‍රියා පිළිවෙත තුළින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ඇති කැමැත්ත ප්‍රදර්ශනය වූ අතර වැඩිකලක් ගතවීමට මත්තෙන් දෙරටේ පෞද්ගලික අංශයන් විසින් සිය අන්‍යෝන්‍ය සහයෝගීතාවයන් වර්ධනය කර ගැනීම උදෙසා නිරන්තරයෙන් විමසීම් සිදුකර තිබේ. ශ්‍රී ලංකාවේ උද්ගත වූ ආර්ථික අර්බුදය හමුවේ දේශීය සමාගම් දිවයිනෙන් ඔබ්බට රැගෙන යාම පිළිබඳ  අනතුරු ඇඟවීමක් පළ වූ අතර බිලියන 1.4 ක දැවැන්ත ජනගහනය සිටින ඉන්දියාව වඩාත් සුදුසු තේරීම බවට පත් කිරීම කෙරෙහි එම පසුබිම හේතු විය.

    මහජනයා වෙත විශාල සහනයක් සලසන ලද ව්‍යාපෘතියක් වන සුව සැරිය ගිලන්රථ සේවය හෙවත් 1990 ගිලන්රථ සේවය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමීප සහයෝගීතාවය පිළිබඳ තවත් කදිම නිදර්ශනයක් වේ. ඉන්දියානු රජයේ  ඩොලර් මිලියන 7.56 ක මූල්‍ය ප්‍රදානයක් සමඟ  2016 වසරේදී  ක්‍රියාත්මක වන ලද මෙම  සේවය පසුව  තවත් ඩොලර් මිලියන 15.09ක අනුග්‍රහය යටතේ තවදුරටත් ඉහළ නැංවිණි.

    ශ්‍රී ලංකාවේ බොහෝ ක්ෂේත්‍ර කෙරෙහි ඉන්දියානු ආයෝජකයන්ගේ උනන්දුව වේගවත් වී ඇති අතර එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික අභිවෘද්ධිය සඳහා අපූර්ව අවස්ථාවක් උදා වී තිබේ.මෙරට ප්‍රධාන ක්ෂේත්‍ර සඳහා ඉන්දියාවේ සෘජු විදේශ ආයෝජන (FDIs) ගෙන්වා ගැනීම ශ්‍රී ලංකාවට ආර්ථික ප්‍රතිලාභ රැසක් ලබාගත හැකි ප්‍රබලම ක්‍රමවේදයක් වන අතර දේශීය සමාගම්වලට ද සහයෝගීතාව සහ ස්වභාවික ශක්තීන්වලින් ප්‍රයෝජන ගැනීමට ඉන්දියාවේ ව්‍යාපාර සඳහා ආයෝජනය කළ හැකිය.එමෙන්ම ඉන්දියාව ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු සඳහා සමීප වීම ඔස්සේ  උතුරු ආර්ථික කටයුතු සඳහා ද මනා පිටිවහලක් සැපයෙන අතර බොහෝ අංශ සඳහා නව ආයෝජනයන් ආකර්ෂණය කර ගැනීම සඳහා එමඟින් සුවිශේෂී අවස්ථාවක් ලබාදේ.නිදසුනක් ලෙස, හොංකොං විසින් තම ආර්ථිකය සවිබල ගැන්වීම සඳහා චීන ආර්ථිකයේ විශාලත්වය සහ පරිමාණය පෝෂණය කළ ආකාරය සඳහන් කළ හැකිය. මේ වන විට හොංකොං රාජ්‍යයට සමාන පරිමාණයකින් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලබාගැනීමට නොහැකි වූවද ශ්‍රී ලංකාව ගමන් කරන දිශානතිය නිවැරැදි ය.

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ විශාල පරිමාණයේ ආයෝජනයන් සිදු කිරීම යුගයේ කාලෝචිත අවශ්‍යතාවය වේ.මෑතකදී ඉන්දියානු සමාගම්  කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය (CWIT) මෙන්ම කොළඹ ITC රත්නදීප හෝටලය වැනි ප්‍රධාන ව්‍යාපෘති සඳහා ආයෝජන ප්‍රකාශයට පත් කර තිබේ.

    CWIT ​​යනු ඉන්දියාවේ Adani Ports, SEZ මෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ  සහ ශ්‍රී ලංකාවේ සමූහ ව්‍යාපාරයක් වන  John Keells Holdings සමාගම අතර නැව් බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා වූ ඒකාබද්ධ ව්‍යාපෘතියකි.

    තවද,ඉන්දීය රජයේ ඩොලර් මිලියන 11ක මූල්‍ය අනුග්‍රහය යටතේ දියත් කර ඇති කිලෝවොට් 2,230 ක ඒකාබද්ධ පුනර්ජනනීය බලශක්ති ධාරිතාවක් සපයන පෝක් බොක්කෙහි පිහිටා ඇති නයිනතිව්,ඩෙල්ෆ් (නෙඩුන්තිව්) සහ අනලතිව් දූපත්වල දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය සඳහා ද ඉන්දියාව ආයෝජනය කර ඇත.මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ දැනට ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර නැති දූපත් ත්‍රිත්වයේ බලශක්ති අවශ්‍යතාවන් සපුරාලීම වන අතර මෙමඟින් රටේ බලශක්ති සුරක්ෂිතතාවය ඉහළ නැංවීමට බලාපොරොත්තු වේ.

    ශ්‍රී ලංකාව සඳහා ඇති විශාලතම සහ වඩාත් ස්ථාවර සංචාරක ප්‍රභවය වන්නේ ද ඉන්දියානු සේවයයි.එහි ඇති ශක්තිමත් ගුවන් සම්බන්ධතාවයන්ට අමතරව  චෙන්නායි ප්‍රදේශය   සහ යාපනය අතර සෘජු ගුවන් ගමන් ද දියත් කර තිබෙන අතර දිවයිනේ උතුරු ප්‍රදේශයේ ජනතාව සඳහා පවතින විකල්ප ගුවන් සම්බන්ධතාවන් එමඟින් වැඩිදියුණු කර ඇත.එමෙන්ම ඉන්දියාවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර නාවික ගමනාගමන සේවයක් ද ආරම්භ කර තිබේ.තවද,  ශ්‍රී ලංකා ගුවන් සේවය විසින් කඩිනමින් නව ආයෝජකයන් අපේක්ෂා කරන අවස්ථාවකදී ඒ සඳහා සිය ආයෝජනයන් සිදු කිරීමට ඉන්දියානු සමාගම් කිහිපයක් විසින් කැමැත්ත පළ කර තිබීම ද සුවිශේෂී කරුණක් වේ.

    වෙළෙඳ මාර්ගයක් වර්ධනය කළ හැකි තවත් කදිම කරුණක් ලෙස නිදහස් වෙළඳ ගිවිසුම හඳුන්වාදිය හැකිය. ඉන්දියාව සමඟ භාණ්ඩ වෙළඳාම් කටයුතු සිදුකිරීමේ දී  ශ්‍රී ලංකාව සැලකිය යුතු මට්ටමේ ද්විපාර්ශ්වික අසමතුලිතතාවයකට පත්වන බව පැහැදිලිය. එහෙත් එහි කොන්දේසි  ශ්‍රී ලංකාවට වාසිදායක ලෙස සකස් කර ගැනීම සඳහා නැවත සාකච්ඡා කළ හැකි අතර  මෙය ඒ සඳහා සුදුසුම කාලය වේ.දෙරට අතර බිඳවැටී ඇති ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (ETCA) නිවැරදි ප්‍රතිපත්ති සමඟ බලාත්මක කළ හැකි නම් එය ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය කෙරෙහි ඉවහල් වන ප්‍රධාන සන්ධිස්ථානයක්  විය හැකිය.

    බොහෝ ව්‍යාජ පරිසරවේදීන් සහ ආර්ථික විද්‍යාඥයින් විසින් තීරුබදු සහ සාවද්‍ය පාරිසරික දත්ත මත පදනම්ව  විරුද්ධත්වය ප්‍රකාශ කර ඇති අදානී සමූහයේ සුවිශේෂී පුනර්ජනනීය  ව්‍යාපෘතිය පිළිබඳව ඉන්දියානු ආයෝජකයන් විසින් විමසමින් සිටියි. අනෙකුත් විදුලි ව්‍යාපෘතීන්ට සාපේක්ෂව අදානි සමූහය විසින්  අවම ගාස්තුවක් යෝජනා කර ඇති බව මාධ්‍ය වාර්තා තුළින් පැහැදිලි වන අතර මෙම ව්‍යාපෘතිය පාරිසරික සංවේදී කලාප සඳහා බලපෑමක් සිදු නොකරන බව  තක්සේරු වාර්තාව (EIA) හරහා නිර්ණය අර තිබේ. ඩොලර් මිලියන 750ක FDI සහ ඊටත් වඩා වැඩි අගයක් මේ සඳහා ආයෝජනය කර ඇත. ශ්‍රී ලංකාව සිය ජාතික අවශ්‍යතා පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු අතර විවිධ අවශ්‍යතා හෝ විවිධ අරමුණු සහිත කණ්ඩායම් හේතුවෙන්  එවැනි ව්‍යාපෘති අඩාල නොවන බවට සහතික විය යුතුය. ලොව පුරා සිටින ඉන්දියානු ආයෝජකයින් සඳහා තවත්  ආයෝජන අවස්ථා රැසක් පවතින බව ශ්‍රී ලංකාව සැලකිල්ලට ගත යුතු අතර,කඩිනමින් ආරම්භක අවශ්‍යතා ආයෝජන බවට පත් කර ගැනීමට මෙන්ම  ආයෝජකයන්  වෙහෙසට පත් කරවන  ප්‍රමාදයන් වළක්වා ගැනීමට කටයුතු කළ යුතුය.

    ලෝකයේ වේගවත් වර්ධනයක් සහිත ප්‍රධාන ආර්ථිකයක් හිමි රටක් ලෙස ඉන්දියාව හැඳින්විය හැකි අතර තම අසල්වැසි දේශයේ දායකත්වයෙන් යම් ආර්ථික ප්‍රතිලාභයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ඇත.2034 වසර වන විට ඉන්දියාවේ, ශ්‍රී ලංකාවට සමීපතම ප්‍රාන්තය වන තමිල්නාඩුවේ ආර්ථිකය  ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1ක් දක්වා ඉහළ නැංවීමට නියමිත වන අතර එය ශ්‍රී ලංකාවේ  ව්‍යාපාර සඳහා ද ලාභදායී අවස්ථාවක් උදා කරයි.

    වර්තමානය ඉන්දියානු සහ ශ්‍රී ලංකා සබඳතා සඳහා ඉතා වැදගත් සන්ධිස්ථානයක් වන අතර එය ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවල වේගවත් වර්ධනය සඳහා ද නිවැරැදි පියවර සපයනු ඇත.

    (කිෂෝර් රෙඩ්ඩි, ශ්‍රී ලංකා ඉන්දියානු සංගමයේ සභාපති මෙන්ම ශ්‍රී ලංකාවේ ඉන්දීය ප්‍රධාන විධායක නිලධාරී සංසදයේ උප සභාපති වේ. තවද ඔහු ශ්‍රී ලංකාව තුළ ඉන්දියානු ආයෝජන ප්‍රවර්ධනය කරන 'Shine Lanka' හී සභාපතිවරයා වන අතර  ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සඳහා  ඉන්දියානු වෙළෙඳපලට ප්‍රවේශ වීමට සහ වෙළෙඳපල  සකස් කර ගැනීමට  සහාය වේ. BOI හි උපදේශකයෙකු ලෙසද හෙතෙම කටයුතු කරන අතර   ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ අංශය ප්‍රවර්ධනය කිරීම සඳහා ඔහු SLASSCOM සමඟ සමීපව කටයුතු කරයි.)