ඉහළ යන බිත්තර මිලට තිරසාර විසඳුමක් ලබාදෙන මෙන් ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලා සිටියි

    February, 7, 2023

    රුපියල ශීඝ‍්‍ර ලෙස අවප‍්‍රමාණය වීම සහ මිල පාලනය,  බලශක්ති අර්බුදය මෙන්ම සත්ව ආහාර අමුද්‍රව්‍ය හිඟකම හේතුවෙන් ගොවිපල කටයුතු අඩාල වීමෙන් ශ්‍රී ලංකාවේ දේශීය බිත්තර මිල ශීඝ‍්‍රයෙන් ඉහළ ගියේය. මේ හේතුවෙන් සාමාන්‍ය ජනතාව පත්ව ඇති අපහසුතාවය සමනය කිරීමේ අරමුණ ඇතිව  බිත්තර ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. රජය විසින් මෙම ප‍්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගනු ලබන්නේ පාරිභෝගිකයාගේ යහපැවැත්ම සහතික කිරීමේ ඒකායන අරමුණ පෙරදැරිව බව ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය විශ්වාස කරන අතර, කුරුළු උණ රෝගයෙන් තොර රටවලින් බිත්තර ආනයනය කිරීමට අවධානය යොමුකරන මෙන් අවධාරණය කරයි. එසේ නොවුණහොත් දැනට කුරුළු උණ රෝගය නොමැති මෙරටට කුරුළු උණ වෛරසය ඇතුළු වී,  රට පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බැවින් එය දරුණු ප‍්‍රතිවිපාක ගෙන දෙනු ඇත.

    ” ශ්‍රී ලංකාව කුරුළු උණෙන් තොර රටකි. එම රෝගය මෙරටට ඇතුලූ උවහොත් එය මෙහි ව්‍යාප්ත වීමේ වැඩි ඉඩක් පවතී. ශී‍්‍ර ලංකාව සිය කුකුළු අපනයන වෙළෙඳපොළ ගවේෂණය කරමින් සිටින අතර රට තුළ කුරුළු උණ ව්‍යාප්ත වීම අපගේ අපනයන වෙළෙඳපොළ තවදුරටත් හැකිලීමට ප‍්‍රධාන සාධකයක් වනු ඇත.” යනුවෙන් ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ සභාපති ආචාර්ය වෛද්‍ය ඩිලාන් සතරසිංහ මහතා අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ කුරුළු උණ නොමැති තත්වය ගෝලීය කුකුළු මස් අපනයන වෙළෙඳපොළ තුළ දිවයිනට තරඟකාරී බවක් ලබා දී ඇත. මෙම කීර්තිය ශ්‍රී ලංකාව කලාපයේ සහ ගෝලීය වශයෙන් ප‍්‍රමුඛ පෙළේ කුකුළු මස් අපනයනකරුවෙකු ලෙස ඉදිරියට යාමට උපකාරී වනු නොඅනුමානය. මෙම අවස්ථාව අවදානමට ලක් කිරීම කර්මාන්තයට බාධාවක් පමණක් නොව, ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය විදේශ විනිමය උපයා ගත හැකි ඉතා හොද මාර්ගයක් ද අවහිර කර ගැනීමකි.

    සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමඟ SLVA සමීපව කටයුතු කරන අතර මෙමගින් සිදුවිය හැකි අවදානම හඳුනාගෙන කුරුළු උණ ව්‍යාප්ත වියහැකි රටවල් වලින් බිත්තර ආනයනය කිරීම තවමත් අනුමත කර නොමැති බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. ඉහත සඳහන් අවදානම්වලට ප‍්‍රමුඛත්වය දෙමින් තායිලන්තය, මැලේසියාව,  ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, බ‍්‍රසීලය සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි දැනට කුරුළු උණ වාර්තා නොවන රටවලින් පමණක් බිත්තර ආනයනය කරන ලෙස දෙපාර්තමේන්තුව රජයට උපදෙස් දී ඇත. ශ්‍රී ලංකාවේ සත්ව රෝග පනත යටතේ, සත්ව නිෂ්පාදන ආනයනය කරන්නන්ට ආනයන බලපත‍්‍ර ලබාදීමට නිර්දේශ කිරීමේ බලය සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සතු වේ. සත්ව සෞඛ්‍ය පිළිබඳ ලෝක සංවිධානය (^WOAH&" සත්ව සෞඛ්‍ය පිළිබඳ කාරණාවලදී දේශීය කේන්ද්‍රස්ථානය ලෙස සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා  සලකනු ලබයි. ලෝක සත්ව සෞඛ්‍ය තොරතුරු පද්ධතිය වන WAHIS ( World animal health information system) හි දත්ත ගබඩාව මගින් ප‍්‍රකාශයට පත් කරන ලද දත්ත පමණක් පදනම් කරගෙන සියලූ තීරණ පදනම් කර ගැනීමට අවශ්‍ය වේ. එබැවින් එවැනි තීරණ ස්වාධීන වන අතර පක්ෂග‍්‍රාහී නොවේ. එබැවින්, අදාල ක‍්‍රමවේදය අනුගමනය කරන ලෙසත්, DAPH විසින් අනුමත කරන ලද රටවලින් බිත්තර ආනයනය කරන ලෙසත් ශ‍්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලා සිටී.

    තවද, ශ‍්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්වය අනුව, කුරුළු උණ ව්‍යාප්තියට මුහුණ දීමට අප රටට මූල්‍ය හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය විශ්වාස කරයි. එම නිසා එවැනි ව්‍යසනකාරී තත්වයන් වළක්වා ගැනීමට රජය අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.

    ශ්‍රී ලංකාවේ කුකුළු නිෂ්පාදන කර්මාන්තය ඉහළ ප‍්‍රමිතීන් අත්පත් කර ගෙන ඇති අතර 2020 වන විට කර්මාන්තය විසින් බිත්තර බිලියන 3 කට ආසන්න ප‍්‍රමාණයක් සහ කුකුළු මස් මෙටි‍්‍රක් ටොන් 23,600 කට අධික ප‍්‍රමාණයක් නිෂ්පාදනය කර මිනිස් පරිභෝජනයට අත්‍යවශ්‍ය වටිනා ප්‍රෝටීන් ප‍්‍රභවයන් නිෂ්පාදනයෙන් රට ස්වයංපෝෂිත කරයි. තවද මෙම කර්මාන්තය මගින් රුපියල් බිලියන 20 ක සෘජු බදු ආදායමක් රජයට උපයා දී ඇතිවා පමණක් නොව සෘජු හා වක‍්‍ර  රැකියා අවස්ථා රැසක් ද උදාකර දී ඇත. එබැවින්, අධික නිෂ්පාදන පිරිවැය, මිල පාලනය සහ ගෘහස්ථ පාරිභෝගික ඉල්ලූම සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් දැනටමත් අර්බුදයට ලක්ව සිටින කර්මාන්තයේ පැවැත්මට බරපතල බාධාවක් විය හැකි ප‍්‍රතිපත්තිමය තීරණ සමඟ ඉදිරියට නොයන ලෙස  ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලා සිටී.

    ශ්‍රී ලංකාවේ පශු වෛද්‍ය ක්ෂේත‍්‍රය නියෝජනය කරන ප‍්‍රධානම වෘත්තීය සංවිධානය ලෙස මෙම අවස්ථාවේදී, ඊට මුහුණ දීම සඳහා ප‍්‍රතිපත්ති සම්පාදකයින් සඳහා අපි පහත නිර්දේශිත යෝජනා කරමු:

    1.* කෙටි කාලීන - DAPH රෙගුලාසි වලට අනුව කුරුළු උණෙන් තොර රටවලින් බිත්තර ආනයනය කරන්න. කෙසේ වෙතත්, DAPH නිර්දේශිත කුරුළු උණෙන් තොර රටවලින් ආනයනය කරන බිත්තර මිල අධික විය හැකි බැවින්, රජය මැදිහත් වී සහනාධාර හරහා පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලක් සහතික කළ යුතුය. රට තුළ ශීඝ‍්‍ර කුරුළු උණක් පැතිර ගියහොත් ගොවීන්ට වන්දි ලබාදීම, රැකියා අහිමිවීම් සහ ඒ ආශ්‍රිත සමාජ-ආර්ථික වියදම් දැරීමට වඩා මෙය රජයට ලාභදායී වනු ඇතැයි අපි විශ්වාස කරමු.

    2.* මධ්‍ය කාලීන - වාණිජ මව් පක්ෂීන්ගේ පවතින හිඟය සැලකිල්ලට ගනිමින්, DAPH  විසින් පසුගිය දෙසැම්බරයේ කුරුළු උණෙන් තොර රටවලින් සංසේචිත ^HATCHING) බිත්තර ආනයනය කිරීම අනුමත කරන ලදී. එමගින් බිහිවන කිකිළි පැටවුන් මාස 4-5 කින් බිත්තර දැමීමට පටන් ගන්නා බැවින් දේශී ඉල්ලුම සපුරා ගත හැකි වනු ඇතග

    3.* දිගු කාලීන - කුකුළු ආහාර සමස්ත නිෂ්පාදන පිරිවැයෙන් 80% ක් පමණ නියෝජනය කරන බැවින් කුකුළු ආහාරවල මිල සහ ලබා ගැනීමේ හැකියාව බිත්තරයක මිල අඩු කිරීමේදී සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරයි. එබැවින් බඩ ඉරිඟු, සහල් වැනි කුකුළු ආහාර අමුද්‍රව්‍ය සහ එහි අතුරු නිෂ්පාදන වගා කිරීමට පහසුකම් සැලසීමට රජය පියවර ගත යුතුව ඇත. වාර්ෂික දේශීය අවශ්‍යතාවය මත පදනම්ව, වෙළඳපොලේ හිඟය මඟහරවා ගැනීම සඳහා ඉතිරි පරිභෝජන අවශ්‍යතාව නිතිපතා ආනයනය කළ යුතුය. ආනයන ද්‍රව්‍ය සඳහා සාධාරණ බදු සහන ලබාදීම ද කුකුළු ආහාර මිල අවම මට්ටමක පවත්වාගෙන යෑමට උපකාරී වේ.

    ශ්‍රී ලංකාවේ පශු වෛද්‍යවරුන් නියෝජනය කරන ප‍්‍රධාන වෘත්තීය ආයතනය වන අපි, පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව සහ අභිවෘද්ධිය තහවුරු කරමින් පවතින අර්බුදයට තිරසාර විසඳුමක් ගෙන ඒම වෙනුවෙන් ප‍්‍රතිපත්ති සම්පාදනය කරන නිළධාරීන්ට ස්වාධීන තාක්ෂණික මගපෙන්වීම ලබා දීමට කැපවී සිටිමු.

    (මෙය ශ්‍රී ලංකා ලංකා පශු වෛද්‍ය සංගමය විසින් නිකුත් කළ නිවේදනයකි.)