උඩ ගිය කොටස් පහළ වැටෙද්දී විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව වැඩිවෙයි

    February, 6, 2023

    දින තුනක අඛණ්ඩ වර්ධනයකින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකවල පහළ යාමක් අද (06) දිනයේ දී වාර්තා විය.

    අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 78.47 ක පහළ යාමක් වාර්තා වූ අතර S&P SL20 දර්ශකයේ ඒකක 27.02 ක පහළ යාමක් වාර්තා වි තිබුණි.

    මේ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,100.14 ක් හා S&P SL20 දර්ශකය ඒකක 2,836.62 ක් ලෙසින් සටහන් වුණි.

    රු. බිලියන 2.31 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.

    මෙහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 1.82 ක් ලෙසත් දේශීය විකිණුම් රු. බිලියන 2.29 ක් ලෙසත් සටහන් වූ අතර කැපීපෙනෙන කරුණ වූයේ රු. මිලියන 490.56 ක විදේශීය මිල දී ගැනීම් ප්‍රමාණයක් වාර්තා වීමයි. අද දින විදේශීය විකිණුම් සටහන්ව තිබුණේ රු. මිලියන 27 ක් ලෙසිනි.

    පසුගිය දින කිහිපය තුළ සීඝ්‍ර මිල වර්ධනයක් වාර්තා කළ කොමර්ෂල් බැංකුව හා සම්පත් බැංකුව යන බැංකු සමාගමේ දෙකෙහි කොටස් මිල පහළ යාම් අද දින සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමට දැඩි ලෙස හේතු වී තිබුණි.