උද්ධමනය ගණනය කිරීමේ වෙනසක්

    February, 7, 2023

    ජාතික පාරිභෝගික මිල දර්ශකය දළ දේශීය නිෂ්පාදිතයේ අවධමනයන්හි ප්‍රධාන නිර්ණායකයක් මෙන්ම රටේ සමස්ත උද්ධමනය පිළිබඳ වඩාත් විස්තරාත්මක දර්ශකයක් වන අතර එහි පළමු දත්ත ශ්‍රේණියේ යොමු වර්ෂය 2013 වර්ෂය වේ. ශ්‍රී ලංකාවේ ගෘහ ඒකකයන්හි වර්තමාන පාරිභෝජන වියදම් නිරූපණය කිරීම සඳහා භාණ්ඩ හා සේවා පැසෙහි අඩංගු අයිතම මෙන්ම භාණ්ඩ හා සේවාවල බර තැබීම් ද යාවත්කාලීන කළ යුතුව ඇත. ඒ අනුව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගනු ලැබ ඇති පහත සඳහන් පියවරයන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අතර, එකී පියවරයන් සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී:

    * පාද වර්ෂය 2013=100 වූ ජාතික පාරිභෝගික මිල දර්ශකය පාද වර්ෂය 2021=100 ලෙස යාවත්කාලීන කිරීම.

    * 2023 ජනවාරි මාසයේ සිට දින 21ක කාලපරාසයක් සහිතව නව ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ ජාතික මට්ටමේ උද්ධමන අනුපාතිකය මාසිකව සම්පාදනය කර ප්‍රකාශයට පත් කිරීම.

    * යාවත්කාලීන කරන ලද ජාතික පාරිභෝගික මිල දර්ශකය සඳහා 2019 වර්ෂයේ පාරිභෝගික වියදම් පදනම් කර ගෙන බර තැබීම් සිදු කිරීම.

    * 2023 ජනවාරි මාසයේ සිට කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික ප්‍රදේශ ආවරණය කරනු ලබන කොළඹ පාරිභෝගික මිල දර්ශකය 2021=100 වන නව පාද වර්ෂය සඳහා යාවත්කාලීන කර කොළඹ දිස්ත්‍රික් නාගරික ප්‍රදේශ සඳහා උද්ධමන අනුපාතිකය සකස් කිරීම සහ ප්‍රකාශයට පත් කිරීම.