එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත් ඔරොත්තු දෙන කෘෂි ආහාර පද්ධති ගොඩනැගීම සඳහා තරුණ නවෝත්පාදකයන් බලගැන්වීමට එක් වෙති

    October, 17, 2026

    දිත්වා (Ditwah) සුළි කුණාටුව නිසා ඇති වූ විනාශකාරී බලපෑම් සහ එල් නිනෝ (El Niño) තත්වය නිසා වන අපේක්ෂිත බලපෑම් වැනි දේශගුණික අවදානම් රැසකට ශ්‍රී ලංකාවේ කෘෂි ආහාර පද්ධති මේ වන විට මුහුණ දෙමින් පවතී. මේ හේතුවෙන් ආහාර නිෂ්පාදනය කිරීම, සකස් කිරීම, බෙදා හැරීම සහ පරිභෝජනය කරන ආකාරය තුළ ඉහළ ඔරොත්තු දීමේ හැකියාවන් ගොඩනැගීමේ හදිසි අවශ්‍යතාවක් පවතී. නිරන්තරයෙන් සිදුවන අනපේක්ෂිත දේශගුණික කම්පනවලට ඔරොත්තු දීමට ශ්‍රී ලංකාවේ ආහාර පද්ධතිවලට හැකි බව සහතික කිරීම සඳහා නවෝත්පාදන ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇත.

    මෙම පරිවර්තනයේ පෙරමුණ ගත යුත්තේ තරුණ ප්‍රජාවයි. කෘෂි ආහාර පද්ධති මුහුණ දෙන අභියෝගවලට නව දෘෂ්ටිකෝණ ගෙන ඒමටත්, නවෝත්පාදන අදහස් ප්‍රායෝගික විසඳුම් බවට පත් කිරීමටත් ඔවුන්ට අවකාශය, අවස්ථා සහ සහාය අවශ්‍ය වේ. “අද නවෝත්පාදන කරමු - හෙට දවස පෝෂණය කරමු” (Innovate Today – Nourish Tomorrow) යන තේමාව යටතේ ලෝක ආහාර දින තරුණ නවෝත්පාදන අභියෝගතාව ශ්‍රී ලංකාව තුළ දියත් කරනු ලැබුවේ මෙවැනි පසුබිමක් තුළ ය.

    එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO), අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ හැටන් නැෂනල් බැංකුව (HNB) සමඟ එක්ව සංවිධානය කරන ලද මෙම අභියෝගය මගින් කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, ආහාර පද්ධති, පෝෂණය, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සහ ඒ ආශ්‍රිත ක්ෂේත්‍රවල ගැටලුවලට නවෝත්පාදන විසඳුම් සෙවීමට ශ්‍රී ලංකාව පුරා සිටින තරුණ තරුණියන්ට මෙයින් වේදිකාවක් සලසා දී ඇත.

    මෙම වැඩසටහන සඳහා රජයේ සහ රජයේ නොවන විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන 51කින් ලියාපදිංචි වීම් 200කට අධික ප්‍රමාණයක් ද, ඉදිරිපත් කිරීම් 100කට වැඩි ප්‍රමාණයක් ද ලැබී තිබුණ අතර මෙම උද්‍යෝගය මෙරට ආහාර පද්ධති නඟා සිටුවීම සඳහා නවෝත්පාදන සහ තාක්ෂණය භාවිත කිරීම කෙරෙහි ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව තුළ පවතින පුළුල් උනන්දුව මැනවින් පෙන්නුම් කරයි.

    අදියර කිහිපයකින් යුත් ඇගයීම් ක්‍රියාවලියකින් අනතුරුව, සිය අදහස් මූලාකෘති (prototypes) බවට පත් කිරීම සඳහා හොඳම කණ්ඩායම් 12 තෝරා ගන්නා ලදි. එහිදී ඔවුනට විශේෂඥ මාර්ගෝපදේශ, උපදේශන සහ සහාය ලබා ගැනීමට අවස්ථාව හිමි විය. තරගයේ අවසන් අදියරේදී අවසන් තරගකරුවෝ සිය විසඳුම් ඇගයීම් මණ්ඩලයක් වෙත ඉදිරිපත් කළ අතර, එසේම, 2026 ලෝක ආහාර දින සැමරුමට සමගාමීව ඔවුහු සිය නවෝත්පාදන ප්‍රදර්ශනය කළහ.

    එහි ප්‍රථම ස්ථානය සඳහා වන සම්මානය අග්‍රාමාත්‍යවරිය විසින් Okranaise - ශාක පදනම් කරගත් මෙයොනීස් (plant-based mayonnaise) වෙනුවෙන් GreenMayo කණ්ඩායම වෙත ප්‍රදානය කරන ලදි.

    මෙහිදී තෝරාගත් හොඳම විසඳුම් 10 සඳහා අඛණ්ඩව උපදේශන සහ සහාය ලැබෙන අතර ඒ හරහා තරුණ නවෝත්පාදකයන්ට සිය මූලාකෘති තවදුරටත් වැඩිදියුණු කිරීමටත්, ඔවුන්ගේ විසඳුම් වඩාත් ශක්තිමත් කර වෙළෙඳපොළට සුදුසු තත්ත්වයට පත් කිරීමටත් අවස්ථාව ලැබේ. මෙම අඛණ්ඩ සහාය හරහා අදාළ කණ්ඩායම්වලට සාර්ථක විසඳුම් මූලාකෘති අදියරේ සිට ප්‍රායෝගික භාවිතය, වාණිජකරණය සහ පරිමාණකරණය (scale) කරා ගෙන යාමට උපකාර කළ හැකි විභව ආයෝජකයන්, පෞද්ගලික අංශයේ හවුල්කරුවන්, තාක්ෂණික විශේෂඥයන් සහ වෙනත් පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධ වීමට ද අවස්ථා නිර්මාණය කරනු ඇත.

    “ශ්‍රී ලංකාවේ ආහාර සහ කෘෂිකාර්මික පද්ධති වඩ වඩාත් සංකීර්ණ අභියෝගවලට මුහුණ දෙමින් පවතී. අපගේ ඔරොත්තු දීමේ හැකියාව සහ අනුහුරු වීමේ හැකියාව ශක්තිමත් කිරීමේ වැදගත්කම දේශගුණික විපර්යාස විසින් තවදුරටත් අවධාරණය කරනු ලබයි. මෙම පරිවර්තනයට එක්වීමට අවශ්‍ය නිර්මාණශීලීත්වය, දැනුම සහ ශක්තිය අපගේ තරුණ ප්‍රජාව සතු ය. නවෝත්පාදන සිදු කිරීමට, ඔවුන්ගේ අදහස් අත්හදා බැලීමට මෙන්ම පෞද්ගලික අංශය සහ අනෙකුත් හවුල්කරුවන් සමඟ සම්බන්ධ වීමට ඔවුන්ට අවකාශය ලබා දිය යුතු ය. අපගේ ආහාර පද්ධතිවල අනාගතය වෙනුවෙන් එම විසඳුම් හරහා අර්ථවත් දායකත්වයක් ලබා දීමට ඒ මගින් අපට උපකාර කළ හැකි ය,” යනුවෙන් අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.

    “දේශගුණික කම්පනවලට ඔරොත්තු දිය හැකි සහ වෙනස් වන අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්විය හැකි කෘෂි ආහාර පද්ධති ගොඩනැගීම සඳහා නවෝත්පාදන අතිශයින් වැදගත් ය. අපගේ ආහාර පද්ධතිවල පවතින සැබෑ අභියෝග විසඳීමට තාක්ෂණය, විද්‍යාව සහ ව්‍යවසායකත්වය යොදා ගන්නේ කෙසේ දැයි ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව දැනටමත් කල්පනා කරමින් සිටින බව මෙම තරගය හරහා අපට දැක ගත හැකි විය. අපගේ වගකීම වන්නේ මෙම අදහස් තවදුරටත් වර්ධනය කිරීමට අවස්ථාව ලබාදෙන අවකාශයක් සහ හවුල්කාරිත්ව නිර්මාණය කිරීමයි,” යනුවෙන් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් මහතා පැවසීය.

    “සාර්ථක නවෝත්පාදන අදහස් මූලාකෘති මට්ටමේ සිට ප්‍රායෝගික විසඳුම් මට්ටම දක්වා ගෙන යාමට උපකාර කිරීමේදී පෞද්ගලික අංශයට වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට හැකිය. ශ්‍රී ලංකාවේ කෘෂි ආහාර පද්ධති මුහුණ දෙන සැබෑ අභියෝග විසඳීම සඳහා තරුණ නවෝත්පාදකයන්ට වේදිකාවක් ලබා දෙන වැඩසටහනකට සහාය වීමට ලැබීම පිළිබඳව HNB බැංකුව ආඩම්බර වෙයි. තරුණ නවෝත්පාදකයන්, කර්මාන්තකරුවන් සහ ආයෝජකයන් අතර වඩාත් ශක්තිමත් සබඳතා නිර්මාණය කිරීම තුළින් ඒ සඳහා විශාල විභවයක් ඇති බව අපට පෙනී යයි,” යනුවෙන් හැටන් නැෂනල් බැංකුවේ (HNB) කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලේවත්ත මහතා ප්‍රකාශ කළේය.

    අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 2026 ලෝක ආහාර දින සැමරුමට සමගාමීව මෙම ලෝක ආහාර දින තරුණ නවෝත්පාදන අභියෝගතාව ක්‍රියාත්මක වේ.

    කෘෂි ආහාර පද්ධති පරිවර්තනය කිරීමේදී නවෝත්පාදන, හවුල්කාරිත්ව සහ තරුණ සහභාගිත්වයට සහාය වීම සඳහා FAO ආයතනයේ පවතින කැපවීම මෙම වැඩසටහනෙන් පිළිබිඹු වේ. තරුණ නවෝත්පාදකයන් රජය, ශාස්ත්‍රීය අංශය, තාක්ෂණික විශේෂඥයන් සහ පෞද්ගලික අංශය සමඟ සම්බන්ධ කිරීම මෙහිදී සිදු වේ. ඒ හරහා වඩාත් ඔරොත්තු දෙන, තිරසර සහ ආහාර සුරක්ෂිතතාවෙන් යුත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා නව අදහස්වලින් දායක විය හැකි මාර්ග නිර්මාණය කිරීම මෙම තරගයේ අපේක්ෂාවයි.

    1945 වසරේදී FAO ආයතනය පිහිටුවීම සිහිපත් කරමින් ලෝක ආහාර දිනය වාර්ෂිකව ඔක්තෝබර් 16 වැනි දින සමරනු ලැබේ. සාගින්න, ආහාර සුරක්ෂිතතාව සහ කෘෂි ආහාර පද්ධති පරිවර්තනය කිරීම පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා ලොව පුරා පාර්ශ්වකරුවන් එක්රැස් කිරීම මෙදින සිදු වේ.