රෝගියෙකුගේ මරණයක් සම්බන්ධ සිදුවීමක් ගැන ආසිරි සෙන්ට්‍රල් මෙසේ කියයි

    October, 17, 2026

    ආසිරි සෙන්ට්‍රල් රෝහලේ සිදුවූ රෝගියෙකුගේ මරණයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා හි සංසරණය වන තොරතුරු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් එම රෝහල විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.
    ආසිරි සෙන්ට්‍රල් රෝහලෙන් නිකුත් කරන නිල නිවේදනයයි
    ගරු මහජනතාව වෙත,
    ආසිරි සෙන්ට්‍රල් රෝහලේ සිදුවූ මරණයක් සම්බන්ධයෙන් මෑතකදී පැතිර යන විවිධ මත සහ මෙම සිදුවීමට අදාළව වෛද්‍ය නොසැලකිල්ලක් සිදුවූ බවට චෝදනා කරමින් මහජනතාව අතර සංසරණය වන සාවද්‍ය හා තහවුරු නොකළ තොරතුරු පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට අපි අපේක්ෂා කරමු.
    මෙම ශෝකජනක අවස්ථාවේ දී අභාවප්‍රාප්ත වූ රෝගියාගේ පවුලේ සාමාජිකයන්ට සහ සමීපතමයන්ට ආසිරි සෙන්ට්‍රල් රෝහලේ බලවත් සංවේගය ප්‍රකාශ කර සිටිමු.
    රෝගීන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව සම්බන්ධයෙන් ආසිරි සෙන්ට්‍රල් රෝහල සැමවිටම ඉහළම සැලකිල්ලක් දක්වන අතර අදාළ රෝගියා රෝහල්ගතව සිටි සමය පුරාවටම, ස්ථාපිත වෛද්‍ය පටිපාටීන් සහ වෘත්තීය ප්‍රමිතීන්ට අනුකූලව සුදුසු වෛද්‍ය ප්‍රතිකාර සහ සත්කාර ලබාදීමට අපගේ වෛද්‍ය සහ සෞඛ්‍ය සේවා කණ්ඩායම් කැපවී කටයුතු කරන ලදී.
    එබැවින් අදාළ බලධාරීන් විසින් තහවුරු කරන ලද නිල තොරතුරු කෙරෙහි පමණක් විශ්වාසය තබන ලෙසත්, අභාවප්‍රාප්ත වූ රෝගියාගේ පවුලේ සාමාජිකයින් වෙත අනවශ්‍ය පීඩනයක් ඇති කරන මෙන්ම වෛද්‍ය වෘත්තිකයන්ගේ සහ රෝහල් පද්ධතියේ කීර්තිනාමයට හානි සිදුවන අසත්‍ය ප්‍රචාරයන්ගෙන් වැළකී සිටින ලෙසත් අප මහජනතාවගෙන් සහ මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටිමු.
    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අසත්‍ය සටහන්වලට පටහැනිව, අදාළ රෝහල් ගාස්තු ගෙවා නිමකර නොතිබුණ ද, දේහය පවුලේ අය වෙත භාරදීමේ දී කිසිදු ප්‍රමාදයක් සිදු නොකළ බවද අපි වගකීමෙන් ප්‍රකාශ කර සිටිමු.
    ආසිරි සෙන්ට්‍රල් රෝහල රෝගී සත්කාරයේ ඉහළම ප්‍රමිතීන්, වෘත්තීය අවංකභාවය සහ විනිවිදභාවය අඛණ්ඩව පවත්වාගෙන යාමට කැපවී සිටියි. අදාළ බලධාරීන් සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කිරීමටත්, නීත්‍යානුකූල ක්‍රියාපටිපාටිවලට ගරු කිරීමටත් අපි සූදානම්ව සිටිමු.
    අදාළ බලධාරීන් විසින් මේ පිළිබඳව නීතිමය සහ අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නා තෙක්, මෙම සංවේදී කරුණ සම්බන්ධයෙන් පදනම් විරහිත මත පළ කිරීමෙන් වළකින ලෙස අපි මහජනතාවගෙන් සහ මාධ්‍යවලින් කාරුණිකව ඉල්ලා සිටිමු.
    කළමනාකාරීත්වය
    ආසිරි සෙන්ට්‍රල් රෝහල