එක්ස්පෝලංකා ඓතිහාසික අතිවිශේෂ මහා සභා රැස්වීම මධ්‍යම රාත්‍රිය දක්වා ඇදී යයි. කොටස් වෙළෙඳපොළෙන් ඉවත්වීම අනුමතයි

    March, 28, 2024

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් අතුරින් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව විශාලතම සමාගම වන එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී, කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත්වීම සම්බන්ධයෙන් කැඳවා තිබුණු අතිවිශේෂ මහා සභා රැස්වීම ඊයේ (27) පැවැත්විණ.

    ඊයේ පස්වරු 4.00 ට පමණ මෙම අතිවිශේෂ මහා සභා රැස්වීම ආරම්භ වූ අතර එය මධ්‍යම රාත්‍රිය දක්වා ඇදී යාම විශේෂත්වයකි. බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ ප්‍රධාන උත්සව ශාලාවේ පැවති මෙම මහා සභා රැස්වීමට දහසකට ආසන්න කොටස්කරුවෝ ප්‍රමාණයක් එක්ව සිටියහ.

    අතිවිශේෂ මහා සභා රැස්වීමේ අරමුණු සම්බන්ධයෙන් සමාගමේ අධ්‍යක්ෂ හර්ෂ අමරසේකර මහතා කරුණු දැක්වූ අතර එහිදී පැමිණ සිටි බොහෝ කොටස්කරුවන් කියා සිටියේ, සමාගම කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීමට කටයුතු කිරීමේ දී දැනට සිටින සුළුපරිමාණ කොටස් හිමියන්ට ගෙවීමට යෝජනා කර ඇති කොටසකට රු. 185 ක මිල ප්‍රමාණවත් නොවන බවයි.

    කෙසේවෙතත් එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සමාගම කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීම සහ ගෙවන මිල සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේ දී එම යෝජනා දෙකම වැඩි ඡන්දයෙන් සම්මත විය. එහිදී කොටස් වෙළෙඳපොළෙන් ඉවත්වීමට පක්ෂව ඡන්ද 5,138 (80.54%) ක් හිමිව තිබුණු අතර විරුද්ධව ඡන්ද 1,218 (19.16%) ක් ලැබී තිබුණි.

    මේ අතර සමාගම කොටස් වෙළෙඳපොළෙන් ඉවත්වීමට අදාළව ගෙවන මිල සම්බන්ධයෙන් කළ යෝජනාව අනුමත කරමින් ඡන්ද 5,129 (81.12%) ක් සහ ඊට විරුද්ධව ඡන්ද 1,194 (18.88%) ක් ලැබිණි.

    මෙහිදී පැමිණ සිටි කොටස්කරුවන් ප්‍රමාණයට මෙන පස්ගුණයක පමණ පෙරකලාසිකරුවන් (Proxy) පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබීම විශේෂත්වයකි.