ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී ශාඛා ජාලය ශාඛා 70 ක් දක්වා පුළුල් වේ

    February, 7, 2023

    • 2022 වසරේදී අලුතින් විවෘත කළ ශාඛා සංඛ්‍යාව 15 ක්
    • 2023 වසරේදී තවත් ශාඛා 20 ක් විවෘත කිරීමට සැලසුම්

    ශ්‍රී ලංකාවේ රන් ණය සේවාවන් මූලික කරගත් එකම මූල්‍ය විසඳුම් සම්පාදකයා වන ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී (Asia Asset Finance PLC) සමාගමේ ශාඛා ජාලය මේ වනවිට ශාඛා 70 ක් දක්වා වර්ධනය වී තිබේ. දිවයිනේ ප්‍රදේශ රැසක මේ වනවිට  ඒෂියා ඇසට් ෆිනෑන්ස් ශාඛා පිහිටුවා ඇති අතර, 2022 වසරේදී තවත් ශාඛා 15 ක් ඊට එක්විය. ශ්‍රී ලාංකිකයන්ට වඩාත් පහසුවෙන් ලබාගත හැකි නැවුම් ආකාරයේ මූල්‍ය සේවාවන් හඳුන්වා දීමට සමාගම දරන උත්සාහයේ තවත් පියවරක් වශයෙන් මෙලෙස ශාඛා ජාලය පුළුල් කිරීම සිදුකෙරේ.

    වසර 52 ක ඉතිහාසයක් සහිත ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ මවු සමාගම වන්නේ, ඉන්දියාව පදනම් කරගත් දැවැන්ත මූල්‍ය සමාගමක් වන Muthoot Finance සමාගමයි. ලොව විශාලතම රන් ණය සේවා සමාගමක් වන Muthoot Finance හි වත්කම් වල මුළු වටිනාකම රු. ට්‍රිලියන 3 කට ආසන්න වන අතර, එය ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු රැසක වටිනාකමටත් වඩා ඉහළ අගයකි.

    2022 වසරේදී ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී විසින් වත්තේගම, පුස්සැල්ලාව, බොගවන්තලාව, ග්‍රෑන්ඩ්පාස්, කන්තලේ, පොතුවිල්, වැලිමඩ, හපුතලේ, ආගරපතන, අච්චුවේලි, චෙඩ්ඩිකුලම්, මට්ටක්කුලිය, මනිපායි, ඇලකන්ද සහ හාවාඑළිය ඇතුළු ප්‍රදේශ කිහිපයක නව ශාඛා 15 ක් විවෘත කරන ලදි. රටේ වාණිජ හා ව්‍යාපාර කේන්ද්‍රස්ථාන වන එම ප්‍රදේශ වල ජනතාවට තම සිහින සැබෑ කරගැනීමට අත්වැලක් වීමේ අරමුණින් තම ශාඛා එම ප්‍රදේශ වල පිහිටුවීමට සමාගම තීරණය කළේ ය. මේ අතරින් ඇතැම් ප්‍රදේශ, රටේ ප්‍රධාන අධිවේගී මාර්ග එකිනෙක සම්බන්ධ වන ස්ථාන වල පිහිටා ඇත. මේ ආකාරයට ශාඛා ජාලය පුළුල් වීමට සමගාමීව සමාගමේ කාර්ය මණ්ඩලයද 20% කින් වර්ධනය වූ අතර, ඉතිහාසයේ ප්‍රථම වරට සමාගමේ වත්කම් පදනම රු. බිලියන 20 සීමාව පසුකළේ ය.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරී රජීව් ගුණවර්ධන මහතා පැවසුවේ, ආර්ථික අර්බුදය සහ ව්‍යාපාරික අවස්ථා යනු එකම කාසියක දෙපැත්ත බව තමන් විශ්වාස කරන බවයි.  අර්බුදය වෙනුවට අවස්ථා වෙත තම අවධානය යොමුකිරීමට සමාගම තීරණය කළ බව ඔහු පැවසී ය. “ශ්‍රී ලංකාව සිය ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටියදී පවා, අපගේ මවු සමාගමේ ශක්තිය සමගින්, අපගේ පාර්ශ්වකරුවන් වෙනුවෙන් විශිෂ්ට තලයේ වටිනාකම් නිර්මාණය කිරීමට අප කටයුතු කරමින් සිටින්නේ ඒ නිසයි. අප සමාගම, 2022 වසරේදී තම ශාඛා ජාලය හා කාර්ය මණ්ඩලය පුළුල් කිරීමට මෙන්ම නව සේවාවන් හඳුන්වා දීමට විශාල වශයෙන් ආයෝජනයන් සිදුකළ සමාගම් අතළොස්ස අතරින් එකක්. එම වසරේදී අප අලුතින් ශාඛා 15 ක් විවෘත කළා. මාස 9 ක කාලයක් තුළ අපගේ තැන්පතු පදනම 22% කින් වර්ධනය වූ අතර, ගනුදෙනුකරුවන්ගේ කාලීන අවශ්‍යතාවන් හඳුනා ගනිමින් අප ඩිජිටල් රන් ණය වැනි නිර්මාණශීලී සේවාවන් හඳුන්වා දීමටත් පියවර ගත්තා. 2023 වසරේදී තවත් ශාඛා 20 ක් විවෘත කිරීමටත්, අපගේ සේවාවන් එකතුව තවදුරටත් පුළුල් කිරීමටත් අප බලාපොරොත්තු වනවා. මේ සියල්ල ඔස්සේ, ශ්‍රී ලංකාවේ රන් ණය සේවාවන් සම්බන්ධයෙන් වඩාත්ම ජනප්‍රිය සහ නිර්මාණශීලී විසඳුම් සම්පාදකයා බවට පත්වීම අපගේ අරමුණයි.” රජීව් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසී ය.

    ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වී ඇති, බැංකු නොවන මූල්‍ය ආයතනයක් සහ බලපත්‍රලාභී මුල්‍ය සමාගමකි. 1970 වසරේදී රන් ණය සේවාවන් මූලික කරගෙන, තැන්පතුකරුවන්ට සහ ණය ලබාගන්නන්ට සේවය සැලසීමේ අරමුණින් එය ආරම්භ කරන ලදි. ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම මේ වනවිට Asia Asset Finance App  ඔස්සේ රන් ණය, ස්ථාවර තැන්පතු, ලීසිං, උකස් සහ ඩිජිටල් මූල්‍ය සේවාවන් ඇතුළුව පුළුල් පරාසයක පැතිරුණු සේවාවන් එකතුවක් පිරිනමයි.