ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම 2022/23 මූල්‍ය වර්ෂය අවසානයේ දී ඉහළ වර්ධනයක් වාර්තා කරයි

    June, 22, 2023

    වසර 52 ක විශිෂ්ට ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රන් කේන්ද්‍රීය මූල්‍ය විසඳුම් සපයන්නා ලෙස හැඳින්විය හැකි ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සිය ප්‍රධාන මූල්‍ය කාර්ය සාධන දර්ශකයෙහි (KPI)  විශිෂ්ට වර්ධනයක් වාර්තා කරමින් 2022/23 වසර අවසන් කිරීමට සමත් විය. එමෙන් ම  පෙර නොවූ විරූ ආර්ථික අභියෝග මධ්‍යයේ මෙම වර්ධනය වාර්තා කරමින් සිය පාර්ශ්වකරුවන් වෙත කැපී පෙනෙන වටිනාකමක් එක් කිරීමට හැකි වීම  ඒෂියා ඇසට් ෆිනෑන්ස් සමාගම ලැබූ ජයග්‍රහණයකි.

    • රුපියල් බිලියන 25 ට ආසන්න මුළු වත්කම්. (පෙර වසරට සාපේක්ෂව 29%ක වර්ධනයක්)
    • මුළු ලාභය රුපියල් මිලියන 284 දක්වා වර්ධනයක්. (පෙර වසරට සාපේක්ෂව 139%ක වර්ධනයක්)
    • සමස්ත ශාඛා සංඛ්‍යාව 75 දක්වා ඉහළට. (පෙර වසරට සාපේක්ෂව 27%ක වර්ධනයක්)
    • මුළු ස්ථාවර තැන්පතු පදනම රුපියල් බිලියන 13.2 දක්වා වර්ධනයක්. (පෙර වසරට සාපේක්ෂව 52%ක වර්ධනයක්)
    • සමස්ත පාරිභෝගික පදනම 10,502කින් වර්ධනය වී ඇත.
    • වාර්තා වී ඇති ප්‍රාග්ධන ප්‍රමාණවත්තා අනුපාතය 26.25% කි.

    ඒෂියා ඇසට් ෆිනෑන්ස් සමාගම වාර්තා කළ වර්ධනයේ එක් ප්‍රධාන විශේෂත්වයක් වන්නේ,  කොටසක් සඳහා  ඉපැයීම් (EPS)  ආකර්ෂණීය ලෙස 150%කින් ඉහළ යාමයි. මෙම සැලකිය යුතු වර්ධනය මගින් සිය කොටස් හිමියන් වෙත සුවිශේෂී ප්‍රතිලාභ ලබා දීම සඳහා  සමාගමට ඇති හැකියාව පිළිබිඹු කරයි. එමෙන් ම  සමාගමේ  ශක්තිමත් මූල්‍ය ශක්තිය සහ ස්ථාවර ගමන් මඟ පෙන්නුම් කරමින්, රුපියල් බිලියන 25කින් වත්කම් පදනම වර්ධනය වීම ද විශේෂ සංධිස්ථානයක් ලෙස හඳුන්වා දිය හැකිය.

    ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ශුද්ධ ලාභය 2022/23 මූල්‍ය වර්ෂය තුළ දී 139% කින් වර්ධනය වූ අතර,  එම වර්ධනය සමාගමේ ඵලදායි උපාය මාර්ග සහ වෙළෙඳපොළ තුළ ස්ථාවරත්වය පිළිබඳව උදාහරණ සපයයි.  ඒෂියා ඇසට් ෆිනෑන්ස් සමාගම හිමි හර ගත්  සාර්ථකත්වයට හේතු වූ තවත් ප්‍රධානතම සාධකයක් වන්නේ 2022/23 වසර තුළ 50% කින් වර්ධනය වූ  තැන්පතු පදනමයි.  මෙම වර්ධනය සමඟින් සමාගම කෙරෙහි පාරිභෝගික ජනතාව තබා ඇති විශ්වාසය මෙන් ම, පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීමට සහ රඳවා ගැනීමට සමාගමට ඇති හැකියාව ද පිළිබිඹු කරයි.

    ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම පාරිභෝගික ජනතාව වෙත කාර්‍යක්ෂම හා ගුණාත්මක සේවාවක් ලබා දීමේ අරමුණින්, දිවයින පුරා පිහිටි ශාඛා ජාලය 75ක් දක්වා වර්ධනය කර ගැනීමට පසුගිය වසරේ දී සමත් වූ අතර, එමඟින්   සියලු ම ශ්‍රී ලාංකිකයන්ට ඒෂියා ඇසට් ෆිනෑන්ස් හි මූල්‍ය සේවාවන් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව වර්ධනය විය.

    ඒෂියා ඇසට් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, රජිව් ගුණවර්ධන මහතා මෙම වර්ධනය පිළිබඳව සිය අදහස් ප්‍රකාශ කරමින්, “රන් මත පදනම් වූ මූල්‍ය සේවා සහ ඵලදායී ලෙස පිරිවැය පාලනය කෙරෙහි අවධානය යොමු කරමින්, ඩිජිටල් මෙහෙයුම් පද්ධතියකින් සමන්විත සුරක්ෂිත ණය ලබා දීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම සඳහා කැපවීම නිසා මෙවැනි සුවිශේෂී ජයග්‍රහණයක් හිමිකර ගැනීමට අපට හැකියාව ලැබුණා. වෙළෙඳපොළේ වැඩි ම ඉල්ලුමක් සහිත වත්කම්වලින් එකක් විදියට රත්‍රන් හඳුන්වා දීමට පුළුවන්. ඒ හරහා අපගේ ගනුදෙනුකරුවන්ට සහ ආයෝජකයින්ට සුවිශේෂී වටිනාකමක් ලබා දීමට අපට හැකි වී තිබෙනවා.  ග්‍රාමීය සහ අර්ධ නාගරික ප්‍රදේශවල අපගේ ශාඛා ව්‍යාප්තිය, අවශ්‍ය ජන කණ්ඩායම් වෙත අපගේ ප්‍රවේශය පුළුල් කිරීම සහ AAF  සේවාව හරහා කාන්තාවන් කේන්ද්‍ර කර ගනිමින් සේවා ලබා දීම අපගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට මහත් ශක්තියක් වුණා. ” යනුවෙනි.

    වාර්තා කළ මෙම වර්ධනය මගින් නව මූල්‍ය විසඳුම් සැපයීමට, ඒ සඳහා  ප්‍රවේශය පුළුල් කිරීමට සහ සිය ගනුදෙනුකරුවන් හා පාර්ශ්වකරුවන් වෙත  සුවිශේෂී වටිනාකම් ලබා දීමට ඒෂියා ඇසට් ෆිනෑන්ස් සමාගමේ කැපවීම යළි යළිත් තහවුරු කරයි.  ඒෂියා ඇසට් ෆිනෑන්ස් සමාගමේ කැපී පෙනෙන වර්ධනය සහ පාරිභෝගික කේන්ද්‍රීය උපාය මාර්ග මගින්  ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම බලවේගයක් බවට එම සමාගම පත් වන බව අවිවාදයෙන් පැවසිය හැකිය.

    ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී යනු බැංකු නොවන මූල්‍ය ආයතනයක් (NBFI) සහ බලපත්‍රලාභී මූල්‍ය සමාගමකි (LFC). ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වී, 1970 වසරේ දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ ඒෂියා ඇසට් ෆිනෑන්ස් සමාගම රන් පදනම් කරගත් මූල්‍ය නිපැයුම් සහ සේවා කෙරෙහි අවධානය යොමු කරමින් ක්‍රියාත්මක වන අතර,  එම සමාගමේ පුළුල් මූල්‍ය සේවාවන් අතරට, Asia Asset Finance App (LUCKEWALLET) හරහා රන් ණය, ස්ථාවර තැන්පතු, කල්බදු, උකස් සහ ඩිජිටල් මූල්‍ය සේවා ආදී සේවා රැසක් ඇතුළත් වේ.  ඒෂියා ඇසට් ෆිනෑන්ස් සමාගමේ බහුතර කොටස් හිමිකාරීත්වය දරන්නේ ගෝලීය මූල්‍ය සේවා දැවැන්තයෙකු වන, ඉන්දියාව පදනම් කරගත් Muthoot Finance සමාගම වන අතර, එම සමාගම රුපියල් ට්‍රිලියන 2.54 කට වැඩි  වත්කම් හිමි සමාගමකි.