ඔටාරා, ඔඩෙල් සම්පූර්ණයෙන්ම විකුණයි

    September, 11, 2014

    මෙරට ප්‍රමුඛතම සමාගමක් වන ඔඩෙල් පී.එල්.සී. සමාගමේ ඔටාරා ගුණවර්ධන, අජිට් ගුණවර්ධන හා රුචී ගුණවර්ධන යන සොහොයුරන්ට අයත් සියළුම කොටස් අද කොටස් වෙළඳ පොළ ගනුදෙනුවක් ලෙස සොෆ්ට් ලොජික් සමාගම් සමූහයට විකුණා තිබේ. මේ අනුව, සොෆ්ට් ලොජික් සමූහය විසින් ඔඩෙල් සමාගමේ සියයට 44.5 ක කොටස් හිමිකම මිලදීගෙන ඇත.

    අප සමග අදහස් දක්වමින් ඔඩෙල් සමාරම්භ ගුණවර්ධන සොහොයුරෙකු වන අජිට් ගුණවර්ධන මහතා පැවසුවේ මෙම ගනුදෙනුවේදී ඔටාරා ගුණවර්ධන මහත්මියට අයත් කොටස් මිලියන 80.8 ක්, තමාට අයත් කොටස් මිලියන 39.4 ක් සහ රුචී ගුණවර්ධන මහතාට අයත් කොටස් මිලියනයක් කොටසක් රුපියල් 22 බැගින් විකුණා දැමූ බවයි.

    මේ අනුව, මෙම ගනුදෙනුවේ වටිනාකම ආසන්න වශයෙන් රුපියල් බිලියන 2.7 කට ආසන්න වේ.

    “අපි ඔඩෙල් ව්‍යාපාරික කටයුතු වලින් සම්පූර්ණයෙන්ම ඉවත් වුණා. ඔටාරා ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ සත්ත්ව ශුභ සාධනය ඇතුළු වෙනත් කටයුතු සිදුකිරීම සඳහායි.“

    යනුවෙන් අජිට් ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    ඔටාරා ගුණවර්ධන මහත්මිය විසින් ඔඩෙල් පී.එල්.සී. සමාගමේ තමන් සතුවූ කොටස් ප්‍රමාණයක් මැලේසියාවේ Parkson Retail Asia Limited සමාගමට මීට පෙර විකුණා දැමූ අතර ඒ වෙනුවෙන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට මැලේසියානු සමාගම විසින් අධ්‍යක්ෂවරු තිදෙනෙකු පත්කර තිබේ.