ඕස්ට්‍රේලියාවේ සමාගමකින් කිලිනොච්චි පූනකරි වැවේ සූර්ය බලශක්ති ව්‍යාපෘතියක්

    December, 12, 2023

    මෙගාවොට් 134ක විදුලිබල සැපයුමක් ලබා දීමට හැකි වන පරිදි කිලිනොච්චිය පූනකරි වැවෙහි බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සහිත මෙගාවොට් 700ක සූර්ය බලාගාරයක් සංවර්ධනය කිරීම පිණිස ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් සෝලා එනර්ජි එස් එල් පෞද්ගලික සමාගම විසින් යෝජනාවක් මීට පෙර ඉදිරිපත් කර තිබුණි.
    එහිදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1,727ක සමස්ත ආයෝජනයක් සහිතව සහ 100%ක සෘජු විදේශ ආයෝජනයක් වශයෙන් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබුණු අතර, ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් දේශීය ව්‍යාපෘති සංරචක සඳහා යෙදවීමට වෙන් කිරීමට යෝජනා වී තිබුණි.
    අදාළ ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. X සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටී.
    යෝජිත ව්‍යාපෘතියෙහි කොටසක් වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 13.5ක පිරිවැයක් යටතේ මුහුදු ජලය ඇතුළුවීම වැළැක්වීම සඳහා පූනකරි වැව වටා අමුණු 03ක් ඉදි කර එම වැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ව්‍යාපෘති යෝජක සමාගම විසින් යෝජනා කරනු ලැබ ඇත. ඒ වෙනුවට එම වැවේ නොගැඹුරු ප්‍රදේශයෙන් අක්කර 1,080ක් මෙගාවොට් 700ක සූර්ය බලාගාරය ස්ථාපිත කිරීම සඳහා වසර 35ක බදු ගිවිසුමක් මත එම සමාගම වෙත ලබා දීමට මීට පෙර උතුරු පළාත් සභාව, උතුරු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව එකඟතාව පළ කර තිබුණි.